2019 ජුලි 06 වන සෙනසුරාදා

තානාපති නෝනගෙ බරබරේ

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 605

එක්තරා බලවත්ම රටක තානාපතිකම් කරන නෝනා කෙනෙක් රටේ ඉහළම මන්දිරේක ඉන්න ලොකු මහත්තයෙක් හම්බුවෙන්න මාස දෙක තුනක් තිස්සෙම වෙලාවල් ඉල්ලනවා... ඒත් එයාට මහ මැඳුරෙන් කිසිම කැඳවීමක් නැහැ.
මහ මැඳුරෙ ඉන්න අය ඔය කියන ප්‍රබල රට ගැන තැන් තැන්වල විවේචන කරන්නත් පටන් අරන්...

මේ විදිහට තානාපති නෝනා ගණන් නොගැනීම ගැන කනස්සල්ලෙන් ඉන්න තානාපති නෝනගෙ කන්තෝරුවෙ පසුගියදා වැදගත් රාජ්‍ය උත්සවයක් තිබුණා... ඒකට මැති ඇමැති ගොල්ලො ගොඩකට ආරාධනා ලැබිලත් තිබුණලු...

රටේ මහ කන්තෝරැවෙන් මේකට ආරාධනා ලැබුණෙ ලොකුම ලේකම් තැනටලු. ඉතින් එයා සුපුරුදු ලෙස උත්සවයට ගියා... ඊට පස්සෙ තානාපතිනිය හමුවෙලා එයා එක්ක සුහද කතාවට යනකොටම තානාපති නෝනා මේ ලේකම් තැන පිළිගන්න අතරම ලොකු දෝස් මුරයක් දැම්ම කියල තතු දත් අය කියනවා... තමන් රටේ ඉහළම මැඳුරෙන් හත් අට පාරක් වෙලාවක් ඉල්ලා තිබියදිත් වෙලාව නොදී තමන්ගෙ රට ගැන සැරට විවේචන කිරීම වැරදිය කියමින් තානාපති නෝනා දාපු බරබරේට උත්තර දෙන්න විදියක් නැතුව ලේකම් තැන වටපිට බල බලා හිටියලු.

අන්තිමේදි වැඩිවෙලා එතන නොරුඳී පිටත්වෙලා ගිය බවත් ආරංචියි.