2019 ජුනි 01 වන සෙනසුරාදා

මම ඔයාලගෙ පැත්තෙ

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 480

පසුගියදාක අපේ නළු ඇමැතිතුමා තමන්ගේ ආසනේ මළ ගෙදරකට සහභාගි වුණා....

මළ ගෙදර හිටපු සෙනඟ උන්නැහේ දන්න කියන අය නිසා හැමෝම සුහදව කතා කළා...

මේ කතාබහේ ප්‍රධාන මාතෘකාව වුණේ කවුන්සිලේට ඉදිරිපත් වෙලා තියන විශ්වාසභංගය. එතැන හිටපු අය හුඟ දෙනෙක් නළු ඇමැතිතුමාගෙන් ප්‍රශ්න කළේ රිෂාඩ් උන්නැහේගේ විශ්වාසභංගෙදි ඔබතුමා ඉන්නෙ මොන පැත්තෙද කියලයි....

නළු ඇමැතිතුමාට ප්‍රශ්නය දුෂ්කර වුණත් උන්නැහේ දුන්නේ ජනතාව අපේක්ෂා කළ උත්තරයක්.

මම ඉන්නේ ඔයාලගෙ පැත්තේ... කවදත් මම ඉන්නේ ජනතාව එක්කනේ... නළු ඇමැතිතුමා ජාමෙ බේරගන්න පිළිතුරක් සැපයුවේ එහෙමයි..

නමුත් එතැන හිටපු අයට මේක වඩා හොඳට වටහාගන්න ඕන වෙලා එයාලා ආයෙමත් ප්‍රශ්න කරන්න පටන්ගත්තා...

සර්.. අපිනම් ඉන්නෙ ඔය කියන ඇමැතිට විරැද්ධ පැත්තේ... එතකොට සර්රැත් විරුද්ධද...? ජනතාව තමන්ගේ ප්‍රශ්නය මුවහත් කළා..

මම දැන් කිව්වෙ මම ඉන්නෙ ඔයාලගෙ පැත්තේ... නළු ඇමැතිතුමා ආයෙම කිව්වා...

ඒ කියන්නේ විරුද්ධයි. ජනතාව ආයෙත් ඇහුවා.

එහෙම නෙවේ.. මම ඉන්නේ ඔයාලගෙ පැත්තේ* ඇමැතිතුමා නැවතත් මුල් උත්තරේම දුන්නා.

එතකොට එතන හිටපු කටකාරයෙක් ඇමැතිතුමා මෙතනත් රඟපානවනේ. මේකත් පාර්ලිමන්ට් ජෝක්ද? කියලා ඇහුවා...

එතකොට මුකුත් නොකියා ගිහින් වාහනේට නැග්ග නළු ඇමැතිතුමා මම ඔයාලගේ පැත්තේ කියාගෙන මාරුවුණා.