2019 මැයි 18 වන සෙනසුරාදා

යන්න දෙන්න බැහැ!

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 1011

රටේ ලොකු මහත්තයගෙ පුත්‍රයගෙ මංගල උත්සවේ පසුගියදාක කොළඹ හිල්ටන් හෝටලේ දි පැවැත්වුණා. පවතින ආරක්ෂක තත්ත්වයේ හැටියට වැඩේ තිබුණෙ චාමෙට... ඒත් දැඩි ආරක්ෂාව මැද්දෙයි...

මුළු හෝටල් ප්‍රදේශයේම රැකවල් දාල තිබුණු නිසා මංගල උත්සවයට පැමිණි හැමෝම වාගේ පරීක්ෂාවට ලක් වුණා.

ආරාධිතයන් පැමිණිය යුතු වෙලාවට කලින් කාටවත් හෝටල් ශාලාවට ඇතුළු වෙන්න ඉඩ දුන්නෙත් නැහැ...

මේ ආකාරයට දැඩි රැකවරණ යොදා තිබූ හිල්ටන් හෝටලේ ප්‍රධාන පිවිසුමට එදා උදේ විශේෂ වාහනේකින් කෙනෙක් ආව කියමුකො... ආරාධිතයන් පැමිණෙන වෙලාවට කලින් පැමිණි නිසා උන්නැහේ ආරක්ෂක අංශ විසින් නවත්වාගත්ත. ඊට පස්සෙ ආරක්ෂක අංශ නිලධාරීන් හා මේ තැතැත්තා ලොකු වාදෙක පැටලුණා...

මට ඇතුළට යන්න ඕන... එයා කිව්ව..

ආරාධිතයන් එන්න කලින් ඔහේව ඇතුළට යවන්න අවසර නැහැ... ආරක්ෂක නිලධාරියා කිව්ව.

එහෙම කරන්නෙ කොහොමද? මම යන්නම ඕන.. අමුත්තා ආයෙමත් කිව්ව...

කොහොම කිව්වත් යන්න දෙන්න බැහැ. කනගාටුයි ආරක්ෂක නිලධාරියා නැවතත් කිව්ව...

ඔහේ දන්නවද මම කවුද කියල... අමුත්තා ඇහුව...

මහත්මය කවුරු වුණත් යන්න දෙන්න නම් බැහැ ආරක්ෂක නිලධාරියා නැවතත් කීව..

මම මනමාලිගෙ තාත්ත. දැන්වත් මට යන්න දෙනවද? අමුත්තා ආයෙමත් කිව්ව...

ඊට පස්සෙ හඳුනාගැනීම තහවුරු කරගෙන උන්නැහේ ඇතුළට යැව්ව.