2019 මැයි 04 වන සෙනසුරාදා

වරද කාගෙද?

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 983

මේ රටේ ඉහළම තනතුරක් දරාපු සුප්‍රකට නායක පවුලකට අයිති කෙනෙක් ඉන්නව... මේ කියන අය පදිංචි කොළඹ වුණාට තමන්ගෙ දේශපාලන බලප්‍රදේශය තියෙන්නෙ නුවර පාරෙ... ගම්පහටත් එහාය කීවොත් නිවැරදියි...

මේ දවස්වල තියෙන ආරස්සක ප්‍රශ්න ගැන කතා කරන්න මේ කියන පළාතෙ දේශපාලන ලොක්කොයි මේ රටේ ඉහළම තනතුරක් දරාපු යට කී එක්කෙනයි පොලිස් හමුදා කස්ටියයි පසුගියදාක රුස්වීමක් තිබ්බ... පළාත නියෝජනේ කරන හැම දේශපාලන පක්ෂයකම මැති ඇමැති කස්ටියත් මේ රුස්වීමට ආව.

පළාතෙ ආරස්සාව ගැන කතාබහ කරගෙන යනකොට මේ පැත්තෙ පදිංචිවෙලා ඉන්න ආසියාවෙම වෙනත් රටකින් ආපු ජනකොටසක් නිසා ආරක්ෂක ප්‍රශ්න තිබෙන බව සමහරැ කියන්න ගත්තලු...

මේ කතාව දිගට ඇදිල යනකොට... ඒ රැස්වීමෙ හිටපු අපි මුලින් කී බලවත් චරිතය නැගී සිටිය. රැස්වීමෙ හිටපු සියලු දෙනාට නිහඬ වෙන්න කියල... එයා ආරක්ෂක ප්‍රශ්නය ගැන විග්‍රහයක් කරන්න වගේ ලෑස්ති වුණා...

හැබැයි එහෙම ලෑස්තිවෙලා කතාව පටන් අරන් එයා මේ ආරක්ෂක ප්‍රශ්නවල වරදත්, පිටරටින් මිනිස්සු මේ රටට ගාල්වීම ගැනත් දොස් කියන්න ගත්තෙ යුද්දෙ ඉවර කරල සාමය ගෙනාපු රටේ හිටපු ලොකු තැනටලු...

බොහොම සැර බසින් මේ අය හිටපු ලොකු තැනට දොස් පරොස් කියන්න ගත්තම සභාවෙ හිටපු පොහොට්ටු කස්ටියටයි... පළාතෙ සමහර දේශපාලුතුමන්ලටයි මළ පැන්න...

එයාල මේ චෝදනා නගන මේ රටේ හිටපු ප්‍රබල චරිතයට විරෝධය දක්වද්දි පසුපස ආසනවලින් හූ හඬකුත් ආවලු... ඒ සමඟ ගාලගෝට්ටිය නැගලම ගියා.

අන්තිමේදි ආරස්සාව ගැන තීන්දු ගන්න තියාපු රැස්වීම කරගෙන යන්න බැරි තැනට කරුණු යෙදුණා...

වැදගත් රැස්වීමකදි පෞද්ගලික කෝන්තර ඇදගැනීම ගැන සමහරැ චෝදනා කළ කෙනාට දිගටම බරබරේ දැම්ම.

විරෝධය වැඩිවෙද්දි එයා තමන්ගෙ ආරස්සක නිලධාරිත් එක්ක පිටවෙලා යන්න ගියා. ආරස්සක රැස්වීම කඩාකප්පල් වුණා.