2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

තහනමක්!

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 676

පසුගියදා සිද්ධ වුණ කනගාටුදායක ඛේදවාචකයෙන් පස්සේ ආණ්ඩුවේ මැති ඇමැති කස්ටිය වහාම කොළඹට රැස්වුණා.

එහෙම රැස්වුණේ ඉදිරි පියවර ගැන කතා කරන්නයි... ඊට පස්සෙ මැති ඇමැති කස්ටිය තීන්දු කළේ ආරස්සක අංස ප්‍රධානිනුත් ගෙන්නල ඒ ගැන සාකච්ඡා කරන්නයි...

මේ තීන්දුව අනුව ආරස්සක අංසෙ කස්ටිය වගේම විපක්ෂයෙ ලොකු තැන ඇතුළු හුඟ දෙනෙකුට රුස්වීමට ආරාධනා ලැබුණා....

ඒ අනුව රටේ දෙවැනි මහත්තයගෙ ප්‍රධානත්වයෙන් තිබුණ රැස්වීමට ආරාධිතයො සේරම වගේ ආවත් ආරක්ෂක අංසෙ ත්‍රිවිධ හමුදා කස්ටිය පමණක් නෙවේ ආරස්සාව භාර ලේකම් උන්නැහේවත් දකින්න හිටියෙ නැහැ....

හුඟක් අමාරුවෙන් ප්‍රමාදවෙලා ආවෙ කාකි සූට් දෙපාර්තමේන්තු ලොක්ක විතරලු...

ඉතින් ආණ්ඩුවෙ දෙවැනි මහත්තයගෙ ආරාධනය පරිදි හුඟ දෙනෙක් ආවත් ආරක්ෂක ලොක්කො ආවෙ නැත්තෙ ඇයි කියල අලි පාටියෙ ලොක්කො හොයලා බැලුවා...

එතකොටයි දැනගත්තෙ ආරක්ෂක අංසෙ ලොක්කො කාටවත් ඒ රුස්වීමට යාම ඉහළම මන්දිරේකින් තහනම් කරල තිබුණ වග. ඒ තහනම නියමෙට වැඩකරල තිබුණා. ඊට පස්සේ ආරස්සක ලොක්කො කවුරුවත් නැතුව රැස්වීමට දිගටම පැවැත්වුණා. නමුත් ඒකෙදි ගත්ත තීන්දු ක්‍රියාත්මක කිරීම භාරවුණේ රුස්වීමට නොපැමිණි ආරක්ෂක ලොක්කන්ටලු....