2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

කට වැහීම

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 520

මේ කතාව රතු සහෝදරයෙක් ගැනයි. කලක් මැතිසබය හොල්ලන කතා කරපු කලවානෙ සරත් සහෝදරයා නැත්නම් සරත් මුත්තෙට්ටුවේගම උන්නැහේ විප්ලවීය චරිතයක්. උන්නැහේ යමක් ගැන පාර්ලිමේන්තුවෙ බොහොම සාරගර්භ කතා වගේම සැර විවේචනත් එල්ල කළා... අලි පාටිය තමයි එයාගෙ ප්‍රධානම දේශපාලන සතුරා.

1977න් පස්සේ ආණ්ඩුව කළ අලි පාටියේ මන්ත්‍රින් ගණන වැඩි වුණා. විපක්ෂය විදියට දෙමළ පක්ෂත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රින් කිහිපදෙනෙක් කොමියුනිස්ට් පාටියේ සරත් සහෝදරයත් තමයි හිටියේ. 

විපක්ෂය පුංචි වුණත් එතන ඉඳන් ආණ්ඩුවට සැරටම පහරදෙන කලවානෙ සරත් සහෝදරයගෙ කටවහන්න අලි පාටියේ ලොක්කො කට්ටියක් සැලසුම් කළා... ඒ අනුව සරත් තමන්ගෙ විප්ලවීය විවේචන කරන්න පටන් ගත්තම එකදිගටම එයාට බාධා කරන්න තීන්දු වුණා. මේ කටයුත්තෙ මූලිකයා වුණේ උඩදුම්බර පැත්තෙන් මැතිසබේට පත්වුණ “නායක* කමක් තිබුණ මන්ත්‍රිතුමෙක්. සරත් උන්නැහේ කතාවක් පටන් ගන්නකොටම මෙයා හැමදාම වගේ බාධාව පටන් ගන්නවා...

හොඳ සිංහලෙන් සාරගර්භ විදියට සරත් සහෝදරය කරගෙන යන කතාවට මේ බාධාව මහ ඇනයක් වුණා. එක දවසක් මේ බාධාව උච්ඡ තත්ත්වෙට පත්වුණා... සරත් සහෝදරය ඒ ගැන කතානායක තුමාට පැමිණිලි කළත් බාධාකළ මන්තිරිතුමාගෙ කට වහන්න එතුමටත් අමාරු වුණා. ඊට පස්සෙ සරත් මුත්තෙට්ටුවේගම කළේ මේකයි..

ගරු කතානායකතුමනි... ඔබතුමාටත් බැරි වුණා මට බාධාකරන මේ මන්ත්‍රිගෙ කටවහන්න... ඔන්න බලන්න මම එයාගෙ කට වස්සවන හැටි... සරත් මුත්තෙට්ටුවේගම කිව්ව... එහෙම කියල එක පාරටම එයා සිංහලෙන් කරගෙන ආ කතාව ඉංග්‍රීසියෙන් කරන්න පටන් ගත්තේ සරත් සහෝදරය දන්න බරසාර ඉංගිරිසි පාවිච්චි කරමින්... සරත්ට බාධා කළ මන්තිරිතුමාට ඉංගිරිසිය ගැන දැනුමක් තිබුණේ නැහැ... මේ ඉංග්‍රිසි කතාවට බාධා කරන්න ඕන තැනයි එපා තැනයි තෝරබේර ගන්න බැරුව උන්නැහේ අන්දමන්ද වුණා. සරත් මුත්තෙට්ටුවේගම උන්නැහේ කිසි බාධාවකින් තොරව කතාව කරගෙන ගියා.. සරත්ගෙ භාෂා උපක්‍රමේ නිසා කතානායකතුමාටත් කටවහන්න බැරිවුණා. කරදරකාර මන්තිරිතුමාගෙ කට වැහුණා.