2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

ඊ‍යෙත් මට බැන්නලු ‍නේ?

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 1227

දියවන්නා කවුන්සිලේදිත් එයින් පිටතදීත් හිටපු ලොකු තැනට සැර විවේචන එල්ල කරන ඌවේ සොයිසා උන්නැහේ පහුගිය දාක හම්බන්තොට පැත්තේ තිබුණ තෙල් පිරිපහදු මුල් ගල් උත්සවේදිත් ඒ වැඩේම සිද්ධ කළා...

එදා සැරට හම්බන්තොටදී හිටපු ලොකු තැනට දොස් පරොස් කියාපු සොයිසා උන්නැහේට ඊට පස්සෙ දියවන්නා කවුන්සිලේ කොරිඩෝවෙදී හදිසියේම හිටපු ලොකු තැන මුහුණට මුහුණ හමුවුණාලු....

තමන්ට එල්ලවෙන විවේචන සැහැල්ලුවෙන් භාරගන්න හිටපු ලොකු තැන සිය පැරණි සගයා දැකලා හා කොහොමද කියලා ඇහුවා. හොඳින් ඉන්නවා.... සර් කියමින් තරමක් චකිතෙන් වගේ සොයිසා උන්නැහේ එකල මෙකල වුණේ තමුත් කලින් දවසේ කියපුවට හිටපු ලොකු තැන දෝස් මුරයක් දාවිය කියලා හිතලයි.

උන්නැහේ එහෙම හිතනකොටම හිටපු ලොකු තැන ඔයා ඊයෙත් අපට බැන්නලු නේද කියමින් මාතෘකාව ඇදලා ගත්තා....

නෑ සර්.. මොනවද ඔය දේශපාලන කතානේ කියමින් අනේ සර් අපේ නෝනටයි පුතාටයි සර් මුණගැහෙන්න වෙලාවක් ගන්නයි කියලා මට කිව්වා* කියමින් කතාව වෙන පැත්තකට හැරෙව්වා...

මම? අපොයි ඒ මොකටද?* හිටපු ලොකු තැන ප්‍රශ්න කළා.

සර් අපේ පුතාගේ මංගල්ලේ තියනවා.. ඒකට ඔබතුමාට ආරාධනා කරන්න...

සොයිසා උන්නැහේ කාරණාව මතක් කළා.. අපි වගේ අය එන එකේ වැදගැම්මක් තියෙනවද* කියලා හිටපු ලොකු තැන ආයෙම ප්‍රශ්නයක් ඇහුවා.

අපොයි නැතුව සර්.. අපේ නෝනටයි පුතාටයි ඔබතුමා මේ මංගල්ලෙට ගෙන්නගන්නම ඕනැලු. ඒකයි කියමින් තවත් කරුණු පැහැදිලි කළා...

හ්ම්. හොඳයි ඔයා මොනවා කිව්වත් කමක් නෑ. නෝනටයි පුතාටයි එන්න කියන්න කියලා හිටපු ලොකු තැන යන්න ගියා.. එදාම හවස ඒ නෝනයි පුතයි ඇවිල්ලා හිටපු ලොකු තැනට මංගල්ලෙට ආරාධනා කළා...