2019 මාර්තු 30 වන සෙනසුරාදා

සතරකන් මන්ත්‍රණේ

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 988

ගිය සතිඅන්තෙ දියවන්නා කවුන්සිලේ තිබුණ ව්‍යවස්ථා සභාවේ හමුව ඉවර වුණා... ඊට පස්සෙ ඒකට ඇවිල්ල හිටපු කතානායක තැන රටේ දෙවැනි මහත්තයා විපක්ෂයෙ ලොක්ක වගේ උදවිය විසිරී යන්න පටන් ගත්තා...

විපක්ෂ නායක පට්ටම දරන හිටපු ලොකු තැන මීටිම තිබුණ ශාලාවෙන් පිටවෙලා විපක්ෂයේ ලොබිය පැත්තට ආව. ඇවිල්ල ටිකක් එකල මෙකල වෙවී ඉන්නකොට ළඟකදී කවදාවත් විපක්ෂ ලොබිය පැත්තට ආවෙ නැති අමුත්තෙක් ඒ පැත්තට ආවා...

ඒ කවුරුවත් නෙවෙයි රටේ දෙවැනි මහත්තයා ඒක කියන්නෙ අලි පාටියේ ලොකු තැන... ඔන්න උන්නැහේ ආව විතරයි හිටපු ලොකු තැනක් උන්නැහේ ඉන්න තැනට ගියා. ඊට පස්සේ දෙන්න කිට්ටුවෙලා සතර කන් මන්ත්‍රණයක් පටන් ගත්තා...

දෙපැත්තෙම මැති ඇමැති කස්ටිය මේ කතාබහ ඈත හිටන් බලන් හිටිය මිසක් ළඟට ගිහින් ඒකට හොට දාන්න උත්සාහ කළේ නැහැ. කොහොම හරි මේ දෙන්න කාටත් නොදැනෙන්න කරගෙන ගිය කතාව රසවත් වගේම ගැඹුරු එකක් බව ඒ දෙස බලාගෙන හිටපු උදවියට දක්නට ලැබුණා...

හදිසි මහ ඡන්දයක් ගැන ජනාධිපති සටන ගැන ජාතික ආණ්ඩුව ගැන හුඟදෙනෙක් දැනගන්න ආස කරන තොරතුරැ එතන කතාවුණ බව පසුව දූෂමාන ආරංචි මාර්ගවලින් වාර්තා වුණා.

කොහොම හරි මේ දෙන්නා විපක්ෂ ලොබියේ කළ සතර කන් මන්ත්‍රණේ හරියටම විනාඩි 25ක් විතර තිබුණලු... වැඩේ තවදුරටත් ඇදෙන්න ඉඩ තිබුණත් හිටපු ලොකු තැනට නාවලපිටියේ පැත්තෙ ආගමික උත්සවයට යන්න තිබුණ නිසා කතාව නවත්තලා උන්නැහේ යන්න ගියා. හැබැයි මේ කතාවේදී සැබෑවටම කියැවුණේ මොනවද කියලා කවුරැවත් හරියට දන්නෙ නැහැ. නමුත් ඒක ඉතා වැදගත් දේශපාලන සංවාදයයක් බව නම් සහ සුද්දෙන්ම කියන්න පුළුවනි.