2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

නමේ වැරැද්ද

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 469

පහුගිය දවසක රටේ ලොකු තැනගේ මූලිකත්වයෙන් තිබ්බා ගමට ශක්තියක් දෙන වැඩසටහන බස්නාහිර පළාතේ අයට. වැඩේ තිබ්බේ කොළඹට කිට්ටු නගරෙක. මේකට ගමේ පුංචි ආණ්ඩුවේ ඉඳලා පළාත් ආණ්ඩුව, මහ ආණ්ඩුව වෙනකල්ම කට්ටිය සූ ගාලා ඇවිත් හිටියා. 

මේ වැඩසටහන යටතේ ගස් හිටවන වැඩකුත් අලුතින් ආරම්භ කරන්න තීරණය කරලා. ඒක බස්නාහිර පළාත් සභාවෙන් කරන්නයි තීන්දු කරලා තියෙන්නේ. මේ ගැන රටේ මහ තැන පළාත් සභාවේ මහ තැනගෙන් අහලා. ලොකූ විස්තරයක් කරලා, එයා ඒකට අලුත් නමකුත් දාලලු. නම තුරු ඉසුර කියලා.

මේක ලොක්කට ඇහිච්ච ගමන් උන්හිටිතැන් අමතක වුණාලු. ගත්කටටම ඇහුවලු ගම ශක්තිමත් කරන වැඩසටහනේ නම තියෙද්දි අහවල් එකකට තමන්ගේ නම දාගත්තද කියලා. ඊට පස්සෙලු කට්ටියට තේරැණේ පළාත් ලොක්කත් ඉසුරට අධිපති නිසා එයාගේ නමින් මේ වැඩසටහන නම් කරපු බව. ලොක්කා හිනාවෙලා ඇඟට නොදැනී කිව්වලු වැඩේ කෙසේ වෙතත් හැමෝම බලන්නෙ තමන්ගෙ නම දාගන්න නේද? කියලා.

කතන්දරේ අල වෙලා කියලා දැනගත්ත ඉසුරු ගෙනෙන පළාත් ලොක්කා ඇඟිල්ල දික් කරලා තමන්ගෙ සභාවේ නිලධාරින් පෙන්නලා කිව්වලු මම දැම්මේ නෑ සර් මේ නම.... මෙන්න මෙයාලා තමයි නම දාලා තියෙන්නේ කියලා. මේක අහගෙන හිටිය අය කතා වුණාලු ඉසුර ගෙනෙන ලොක්කා කිසිම දෙයක් නොදන්න බබා කියලා.