2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

ලොකුම සම්මානෙ

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 586

කාකි සූට් දෙපාර්තමේන්තුව සංවිධානෙ කරපු ලොකුම ගරු සම්මාන උත්සවයක් පසුගියදා කොළඹදී පැවැත්වුණා.

පසුගිය කාලෙ තමන්ගේ ජීවිත ගැන පවා නොතකා කුඩු ජාවාරම කුඩේ කුඩු කරන්න වැඩකරපු ලොකු පොඩි කාකි සූට් උන්නැහේලට ගෞරව කිරීම තමයි මේ උත්සවේ අරමුණ වුණේ. කෝටි ගණනක් වියදම් කරල පවත්තපු උත්සවේ මහ පුටුවට ආරාධනා ලැබුවෙ රටේ ලොකු මහත්තය... උන්නැහෙත් මේ කුඩු දූරීභූත කරන වැඩේ ලොකුම රෝල් එකක් කරන නිසා සතුටින් උත්සවේට සහභාගි වෙන්න තීන්දු කළා....

කාකිසූට් කස්ටිය සිය ගණනකට සම්මාන සිය ගණනක් ප්‍රදානය කරන්නයි ලෑස්ති කරලා තිබ්බෙ. උත්සවේට කලින් රටේ ලොකු මහත්තය මේ සම්මාන ලෙස දෙන්න තිබුණ කුසලාන පදක්කම් ආදිය නිකමට වගේ පරීක්ෂා කරලා බැලුවා. එහෙම බලනකොට එතන තිබ්බ සම්මාන ගොඩේ විශේෂ වගන්ති රාශියක් සඳහන් කරපු දැවැන්ත කුසලානයක් වගේ සම්මාන තිළිණයක් උන්නැහේගෙ නෙත ගැටුණා...

ඊටපස්සෙ ලොකු මහත්තයා එතෙන්ට කිට්ටුවෙලා... ඒකෙ තිබුණ වගන්ති කියෙව්ව. වගන්ති කියවල ඉවරවෙලා මේ දැවැන්ත කුසලානයත් හොඳින් පරීක්ෂා කරලා ඉතාම කේන්තියෙන් ඒ කිට්ටුවට වෙලා කැරකෙමින් හිටපු කාකි සූට් දෙපාර්තමේන්තුවේ ලොක්කා කැඳෙව්වා... ඊට පස්සෙ ඇතිවෙච්ච දෙබස මෙහෙමයි.

අයිෂෙ... තමුන් මට මෙතෙන්ට එන්න කිව්වෙ මොකටද...?

සර්... මේ සම්මාන ප්‍රදානයටනේ...

මේ දෙපාර්තමේන්තුවෙ ඉතාම වැදගත් මෙහෙවරක් කරපු පොඩි මිනිස්සුන්ට සම්මාන දෙනවය කියපු හින්දයි මම මෙතෙන්ට ආවෙ... ඇවිල්ල බලනකොට මේ මිනිස්සු මැරිල මැරිල කරපු සේවාව වෙනුවෙන් ලොකුම පදක්කම, සම්මානය දෙන්න ලෑස්ති කරලා තියෙන්නෙ තමුන්ට... ලැජ්ජ නැද්ද අයිෂෙ.... ලොකු මහත්තය දැඩි කේන්තියෙන් කියාගෙන කියාගෙන ගියා. කාකිසූට් ලොක්කට තේරැණා වැඩේ වැරදුන බව. එයා නිහඬව හිටිය. ලොකු මහත්තය නැවත කතා කළා...

මතක තියාගන්න මම ආවෙ තමුන්ට සම්මාන දෙන්න නොවේ... මේ මිනිස්සුන්ට සම්මාන දෙන්නයි. ඒ නිසා වහාම මේ සම්මානෙ මෙතනින් අයින් කරනවා... නැත්නම් තමුන්ම සම්මාන දීගන්නව... මම යනව යන්න... ලොකු මහත්තය අන්තිම තීන්දුව දුන්න. ඒ පාර කාකි සූට් ලොක්ක තමන් ළඟම හිටපු පොඩි නිලමෙ කෙනෙකුට කතා කරල එයාගෙ නම කොටාපු ගරැ සම්මානෙ අයින් කරන්න කීවා. ඊට පස්සේ ලොකු මහත්තය සම්මාන ප්‍රදානය කළා. එතන ලොකුම සම්මානෙ ගන්න හිටපු කෙනා පැත්තකට වෙලා බලන් හිටියා.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00