2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

වැරදි දේශපාලන පැංචා

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 298

අපේ රටේ සාමෙ ඇතිකරන්න මැදිහත්වෙලා වැඩේ අප්සෙට් කරන් ගියපු යුරෝපා රටක කස්ටිය දැන් ආයෙත් ටික ටික කිට්ටුවේගෙන එනවලු...
පසුගියදාක හම්බන්තොට වරාය ගැන තිබුණ උද්ඝෝෂණේ නිසා ඇතිවෙච්ච දේශපාලන හුටපටේට සම්බන්ධ වෙන්න තමයිලු එයාලගෙ උනන්දුව. ඉතින් ඒකට කොක්කක් ගහන්න පුළුවන් තැනක් මේ රටේ අය සොය සොයා හිටිය. මේ කොක්ක ගැහීමේ අරමුණ වුණේ දැන් ආසියාවෙ බලය පතුරවන්න හදන චීන කස්ටියට ටොක්කක් ඇනීම.

ඔන්න ඒකට චීනෙට බණින පොරක් හොය හොය ඉන්න කොට ඒකාබද්දෙ ඉන්න හම්බන්තොට දිසාවෙන් පත්වෙච්ච එක්තරා දේශපාලන පැංචෙක් ගැන තොරතුරක් ලැබුණා. එයාගෙ තාත්තත් පළාත් සභාවෙ ඉන්න පොරක්.
ඊළඟට මේ යුරෝපා රටේ මාධ්‍ය ආයතනයකින් මාධ්‍ය කස්ටියක් එව්ව අපි කියපු ඒකාබද්දෙ මන්තිරි හොයාගෙන. එයා උද්ඝෝෂණේ දවසෙ සැරට චීනෙට බැණපු එක ගැන සතුටෙන් එයාගෙන් මාධ්‍ය සගයො නොයෙක් ප්‍රශ්න අහුව... කතාව ඉවර වුණාම තරුණ මන්තිරි තැන කිව්ව “මේ වැඩේ මුල ඉන්නෙ ඇත්තටම මම නොවේ. මල් මන්තිරිතුමා අපි එයා හම්බුවෙමු. එහෙම වුණොත් හොඳ තොරතුරැ ටිකක් ගන්න පුළුවන්. කියල.

ඒක අහපු සාම රටේ මාධ්‍ය කස්ටිය හොඳටම කලබොල වුණා. “හපොයි එයා එපා. එයානම් කොහොමවත් එපා. එයා චයිනීස් මෑන්... චයිනීස් මෑන්... අපි ඔයාව ගත්තෙත් ඔයා චයිනීස් නොවේ කියල හිතලයි... ඔයත් එයා එක්කද වැඩ කරන්නේ? කියල ප්‍රශ්න කළා. තරුණ මන්තිරි කිව්ව “ඔව් කියල “ආ එහෙමද... හොඳයි අපි පස්සෙ හම්බුවෙමු... කිව්ව සාම මාධ්‍ය කස්ටිය ටක්ගාල වාෂ්ප වුණා. එයාල ගත්ත වාර්තාවත් තවම පළවුණේ නැතිලු.