2019 ජනවාරි 12 වන සෙනසුරාදා

ලියන මහත්තයට කොක්කක්

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 419

අත පාටියට පාත්වුණු අලුත් ලියන මහත්තයා මේ දවස්වල ඉන්නේ මුරුංගා අත්තේ කියලා පාටියෙ සමහරු කටු කුටු ගාන්න පටන් අරගෙන. ඒ වුණාට කැපුවත් නිල් කියාගෙන පාටියට දරදිය ඇදපු සමහරු මෙයාගේ පත්වීමට කොකු අදින්න බලාගෙනලු ඉන්නේ.

සමහරු ඒකට අත පාටියේ පසුපෙළ කුලප්පු කරමින් ඉන්න බවත් ආරංචියි. සමහර උදවිය මෙයා යන උත්සව වර්ජනයකටත් සැරසෙන බවට ඉඟි පළවෙලා තියෙනවා.

මේ ලියන මහත්තයා පසුගිය දවසක නුවර පැත්තේ වන්දනාවකට ආවා. සාමාන්‍යයෙන් පාටියේ ලොකු තනතුරකට පත්වුණු කෙනෙක් පළාතට එනකොට එහේ ඉන්න සංවිධායකයෝ සේරම වගේ එන එකයි සිරිත. නමුත් අලුත් ලියන මහත්තයා නුවර ගිය දවසේ ඇවිත් හිටියේ දහතුනෙන් තුනක් විතරයිලු. ඊට පස්සේ එයා දකුණට යනකොටත් ගමනට දායක නොවෙන්න තව පිරිසක් සැට්වෙලා කියලා දැනගන්න තියෙනවා. 

ඒ වුණත් පාටියෙ වගේම රටේ ලොකු මහත්තයත් මෙයා එක්කලු ඉන්නේ. හැබැයි පහුගිය දවස්වල මුන්නැහේ හිටපු ලොකු තැනට ප්‍රසිද්ධ වේදිකාවේ ඕන නැති ඒවා කියන්න ගිහිල්ලා රටේ ලොකු මහත්තයගෙන් සබ්බුව හම්බවුණා කියලයි රජගෙදර පැත්තේ අය කියන්නේ. අන්තිමේදී වැඩේ කෙළවර වුණේ අලුත් ලියන මහත්තය හිටපු ලොකු තැනගෙන් සමාව ඉල්ලලලු.