2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

ඊළඟ ජනාධිපතිවරණයේදී සපෝට් කරන්නේ කාටද?

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 468

දේශපාලන ලෝකය විවිධ හැලහැප්පීම්වලින් සමන්විත සංකීරණ තැනකි. හිටිගමන් කුණාටු වැහි ආන්දෝලනාත්මක සිදුවිම්වලින් ආණ්ඩු පෙරළෙයි මැති ඇමැතිවරු පිල්මාරු කරගනිති. නිදහසින් පසු අද දක්වා ශ්‍රී ලංකාවේ දේශපාලන භූමියේත් එවැනි සිදුවීම් වාර්තා වී තිබේ. 

මෙරට දේශපාලනය ගැන කුමන මතිමතාන්තර ඉදිරිපත් කළද ජනතා අභිලාෂයන් තවමත් ඇත්තේ දේශපාලනය තුළමය. සමාජයේ විවිධ තරාතිරමේ පුද්ගලයන් සම්මුඛ වුවද ඇසෙන එක් පැනයක් ඇත. එනම් කවුද එන්නේ යන්නය. මේ දැඩි උනන්දුව සෑම තැනකම පාහේ එක හඬට අසන්නට ලැබේ. පක්ෂ ප්‍රධානීන්ට වඩා පක්ෂයට ගැති පාක්ර්ෂිකයන් තම පක්ෂයෙන් එන්නේ කවුද? විරැද්ධ පක්ෂයෙන් එන්නේ කවුද යන්න ගැන නොඉවසිලිමත්ය. 

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ කතිකාව සමඟම නැවතත් මෙරට දේශපාලන බලවේග ප්‍රතිසන්ධානගතවෙමින් පවතින බව පැහැදිලි කරැණකි. එක් අතකින් අපේක්ෂකයා විය යුත්තේ කවුරුන් ද යන වග කිසිදු ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයක් විසින් විධිමත්ව ප්‍රකාශකොට නොමැති තත්ත්වයක් තුළ අඩුම තරමින් සමාජ මාධ්‍ය තුළ හා කොළඹ කේන්ද්‍රියව නව අපේක්ෂකයන් කිහිපදෙනෙක් තරගකාරිව සිය අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කරමින් සිටිති.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ට සහාය ලබාදීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ කිහිප දෙනකුගෙන් අප විමසීමක් කළෙමු.

එජාප අපේක්ෂකයාට සහාය දෙනවා

ඉන්දික බණ්ඩාරනායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන සන්ධාන තුළ ජනාධිපතිවරණයට එන අපේක්ෂකයාට සහය දෙන්න බලාපොරොත්තු වෙනවා. මෙලෙස එජාපයෙන් ඉදිරිපත් වන නායකයා රටේ ජනතාවගේ උවමනාවන් හඳුනාගනිමින් කටයුතු කරන බවට විශ්වාසයක් තියනවා. වෙනසක් එක්ක රට සංවර්ධනය කරා ගෙනයන මේ ගමනේදී එජාපයේ අපේක්ෂකයාට සහාය දැක්වීමට තමයි තීරණය කළේ. ඒ නිසා අනිවාර්යයෙන්ම එජාප අපේක්ෂකයාට සහාය පළකරනවා. 

තීරණයක් ගන්නේ ප්‍රතිපත්ති බලලා

විදුර වික්‍රමනායක  කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පුද්ගලයාට වඩා ප්‍රතිපත්ති තමයි වැදගත් වෙන්නේ. මොකද ප්‍රතිපත්ති නැතුව මුහුණුවලින් රට ගොඩනැගීමට නොහැකියි. හොරුන් විසින් පාලනය කරන රටක් තමයි වර්තමානයේ තියෙන්නේ. සැබැවින්ම දැන් ජනතාවට මෙයට විකල්පයක් අවශ්‍යයි. පුද්ගලයන්ගේ මුහුණු මත එය තීරණය කරන්න බැහැ. මේ රට ගොඩනගන ප්‍රතිපත්තියක් තිබෙන අයුරු සමඟ තමයි ජනතාව ඉන්නේ. නාස්තිය අවම කරලා ජනතාවට සහය ලබාදෙන රට සංවර්ධනය කරන නායකයෙකුට සහාය ලබාදෙනවා. ඔහු ඉදිරිපත් කරන ප්‍රතිපත්ති දෙස බලා තමයි ඔහුට සහයෝගය දක්වන්නේ.

එජාපයට විරුද්ධ අපේක්ෂකයාට සහාය දෙනවා

එස්.බී. දිසානායක ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයාට විරුද්ධව ඉදිරිපත් වන අපේක්ෂකයාට තමයි සහාය ලබාදෙන්නේ. දැන් ජනතා විමුක්ති පෙරමුණත් ඔවුන්ගේ අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා කියලා කියනවා. ඔවුන් එසේ ඉදිරිපත් කරන්නේ එජාපයට සහාය ලබාදීලා මේ ජනාධිපතිවරණයේ ඡන්ද කඩන්න. ඒ නිසා පොදුජන පෙරමුණ, ශ්‍රීලනිපය, මහජන එක්සත් පෙරමුණ හෝ තවත් පක්ෂයකින් එජාපයට විරැද්ධ සහ ජනාධිපති අපේක්ෂකයාට අපගේ සහාය ලබාදෙනවා.

එජාප සන්ධාන අපේක්ෂකයාටයි සහාය ඒ.එච්.එම්. ෆවුසි 

ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී

ඉදිරි ජනාධිපතිවරණයේදී එජාප සන්ධානය යටතේ ඉදිරිපත් වන අපේක්ෂකයාට සහාය ලබාදෙනවා. මේ රට සංවර්ධනය කරා ගෙනියමින් ජනතාවට සේවයක් කරන්න පුළුවන් අපේක්ෂකයකු මෙවර මැතිවරණයට එයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ජනතාවට සහාය ලබාදෙන එම අපේක්ෂකයාට තමයි සහාය ලබාදෙන්නේ.

මගේ තේරීම පොදුජන පෙරමුණේ අපේක්ෂකයායි

ඩිලාන් පෙරේරා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයකු ලෙස බදුල්ල දිස්ත්‍රිකය තුළ වැඩ කරන්න වතාවරණයක් නැහැ. කුමාර වෙල්ගම මහතා බදුල්ල දිස්ත්‍රික් සංවිධායක කමින් ඉවත්ව නැවතත් කළුතරට යාමත් සමඟ එජාප විරෝධී කඳවුරට නායකත්වය දීම සම්බන්ධයෙන් එම දිස්ත්‍රිකය තුළ විශාල හිඩසැක් පවතිනවා. එම නිසා ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එම හිඩැස පිරවීමට මා බලාපොරොත්තු වෙනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්වන අපේක්ෂකයාට සහාය දක්වන්න බලාපොරොත්තු වෙනවා.

 හසිත් අංජන 

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30