2018 ජුනි 09 වන සෙනසුරාදා

ලොකු පුටුවක් ගැන අනාවැකියක්!

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1339

හිටපු ලොකු තැන පසුගියදාක පක්ෂයෙ කස්ටියගෙ රැස්වීමක මුලසුනේ හිටිය. රැස්වීම ඉවරවේගෙන යද්දි මේසෙ වටේ හිටියෙ කිහිපදෙනයි. ඒ ඔක්කොම දියවන්නා කවුන්සිල් කස්ටියලු...

දේශපාලන ආ ගිය කතා කිය කිය ඉන්න අතරෙ හිටපු ලොකු තැන ජ්‍යොතිෂය ගැන කතා කරන්නත් පටන් ගත්ත කියමුකො... කවදත් ජ්‍යොතිෂයට කිට්ටු උන්නැහේ 2015 ඡන්දෙට කලින් දකුණු ආසියාවෙ ඉන්න ප්‍රබලම දෛවඥයෙක් තමන්ට කියූ අනාවැකියක් මතක් කළා...

එදා මට එයා කිව්වෙ 2015 දි මගේ බලය නැතිවෙනව. ඒත් 2018න් පස්සෙ නැවත තැනකට එනවය කියලයි... ඔන්න ඔය විදියට එදා කියපු ජ්‍යොතිෂ අනාවැකිය සිහිපත් කරපු හිටපු ලොකු තැන ඒක කියල ඉවරවෙනකොටම එතැන හිටපු කොළඹට කිට්ටු දිස්තිරික්කෙකින් පත්වුණ ටිකක් තරබාරු දියවන්නා කවුන්සිල් මැම්බර් කෙනෙක් මෙහෙම ප්‍රශ්නයක් ඇහුව.

එතකොට සර් ඒ දෛවඥය කිව්වද ඔබතුමා ආයෙමත් අගමැති වෙනවය කියලත්... දියවන්නා මෑන් ඒ අමුතු ප්‍රශ්නෙ මතුකළාම එතැන හිටපු හැමෝම මුහුණට මුහුණ බලාගත්ත කියල කියනව. 

එයා ඒ තරම් උනන්දුවෙන් ඊළඟ අගමැති කවුද කියල සොයන්නෙ මොකද කියන එක ගැන ඊට පස්සෙ සමහරු වෙනත් අර්ථකථන දෙන්න පටන් ගත්තලු. හැබැයි හිටපු ලොකු තැන මහ හඬින් සිනාසුණා මිසක් මුකුත්ම කිව්වෙ නැහැ කියලයි ආරංචි...