2018 මැයි 12 වන සෙනසුරාදා

ගෙදරදි වැඩ බාරගත්ත ලොක්කා

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 941

කැබිනට් පට්ටමක් ලැබිලත් අසතුටින් ඉන්න ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නවලු. උන්නැහේ එන්නෙ වැලිවලට මඩ කලවම් වෙච්ච පළාතකින්. පසුගිය කාලෙ සිද්ධවුණ මුල්ම සංශෝධනයේදි කැලෑවල් බාරවුණ මුන්නැහේට දෙවැනි සංශෝධනේදි කංකරුවො බාරදීල... ඒකලු අප්සෙට් ගහල තියෙන්නෙ...

කැලෑවල් සතුන්වතු එහෙම බාරවුණාම අලුතින් රැකී රස්සාවල් හත් අටසීයක් දෙන්න ප්ලෑනක් ගහලා තියෙද්දි මාසයක් තුළ සිද්ධවුණ පට්ටම් මාරැව ගැන කලකිරැණ ඇමැති තැන අලි පාටියෙ ලොකු මහත්තුරැ හම්බුවෙලා පක්ෂයෙ ඉතාම ජ්‍යෙෂ්ඨයෙක් වන තමන්ගෙ පට්ටම ෆොනීතුමාට දුන්නෙ ඇයි කියලා ඇහුවලු...

එතෙන්දි ඉහළින් ලැබුණ උත්තරෙන් කියැවුණේ පක්ෂය ගහක්. ඔයා ඒකෙ මුදුන් මුලක්... ඔය අනිත් උදවිය ගහේ කොළ... ඒව තියෙන්නෙ ටික කාලයයිනේ... කියලලු... ඒ හින්ද ඔය කංකරැ වැඩේ කොරන් ඉන්න... දැන් නම් මාරු අමාරුයි කියලත් කීවලු...

ඉතින් ඔය උත්තරේ ගැන අසතුටට පත් උන්නැහේ කංකරු ඇමැති අංසෙ වැඩ බාරගන්න ආවෙත් නැතිලු... අමාත්‍යංසෙ ලොක්කන්ට වැඩ බාරගැනීමේ ලියුම හදල වැලිමඩ පැත්තෙ ගෙදරට එවන්න කියලා.

ඒ පාර අමාත්‍යංස ලොක්කො කලබොල වෙලා ඒ ලියුම හදල ෆයිල් එකක දාලා කොළඹින් වැලිමඩ යන බස් එකකට බාරදුන්නලු. ඒ විදියට බස් එකේ ආපු වැඩ බාරගැනීමේ ලියුම බාරගත්ත ඇමැති තැන දැන් ගෙදර ඉඳන් කංකරැ වැඩ කරනවා කියලා ආරංචියි.