2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

සුන්දරීගෙ හෙළිදරව්ව

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1796

ඉතාම ප්‍රසිද්ධ ඈත පළාත් නගරෙක පිහිටි සුප්‍රකට මහ ඉස්පිරිතාලෙ සමාජ රෝග සායනයට සුන්දර ලලනාවක් සම්ප්‍රාප්ත වුණා.

මේක වුණේ දැන් සතියකට දෙකකට කළින් කියමුකො... ඇවිල්ලා දොස්තර මහත්තයා ඉදිරිපිට ලජ්ජාවෙන් ඇඹරි ඇඹරි ඉන්න කොට ඒ ලලනාව ඇමතූ දොස්තර මහත්තය ප්‍රතිකාර කරන්න කළින් රෝග නිධානය සොයාගන්න ඕනෑ බව කිව්වා...

ඊට පස්සෙ ගොත ගගහ ලජ්ජාවෙන් ගෑනු ළමයා කිව්වා. විස්තර අහපු දොස්තර මහත්තයට තේරුණා එයාට හැදිලා තියෙන්නෙ බරපතළ සමාජ රෝගයක් බව.

ලෙඩේට ප්‍රතිකාර නියම කරන්නට පෙර මේ ලෙඩේ බෝවුණ විදිය ගැන දොස්තර මහත්තය තදින් ප්‍රශ්න කළාලු. එතෙන්දි ලෙඩේ බරපතළකම වටහාගත්ත තරුණිය අනේ කොහොම හරි මේ ලෙඩේ හොඳ කරලා දෙන්න කියලා කියමින් දොස්තර මහත්තයට තමන් ඇසුරු කරපු උදවිය ගැන විස්තර ඇතුව කියපු හැටි මේ වෛද්‍ය සායනේ සේවය කරන අනෙක් අයටත් ඇහුණලු... තමන් ඇසුරු කළ අය අතරෙ ප්‍රකට ව්‍යාපාරිකයන්, නළුවන් එහෙමත් හිටපු බව නම් ගම් එක්ක තරුණිය කියලා...

වෙනත් බලවතුන් එහෙම ආශ්‍රය කළේ නැත්ද කියලා වෛද්‍යතුමා ප්‍රශ්න කළාම මඳක් පැකිලුණ තරුණිය දැනට ආණ්ඩු කරන එක්තරා මහ පක්ෂයක ජ්‍යෙෂ්ඨ මට්ටමේ ඇමැති පට්ටමක් දරන කෙනෙක්ගෙ නමත් කිව්වලු.

දැනට තනිකඩව වෙසෙන මේ දේසපාලුතුමා එන්නෙත් ඈත පළාතකින්. එයාගෙ විෂයත් ගමට සම්බන්ධයි. පවුලත් දේසපාලනේට ගෑවිච්ච අය... කොටින්ම කිව්වොත් එක්තරා දිසාවක නායකයෙක් හැටියටයි දැන් වැඩ කරන්නෙ කියලා අර සුන්දරිය කිව්ව බව ඒ රෝහලේ සේවකයෙක් දන්නවා.