2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

යාපනේ පාට් දාන ආවා කල්ලියට දුන් දවස් දෙකේ රතු නිවේදනය

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 788

වසර තිහක් යුද්ධයෙන් බැට කෑ ජනතාවට එහි අතීත මතකයන් වේදනාවකි. ඒ මතක වියැකෙන්නට පෙර යාපනය ප්‍රදේශයේම බිහි වූ කල්ලි කණ්ඩායම්වල හැසිරීම ජනතාවට මරණ බිය යළි ඇති කළේය. කප්පම් ගැනීම, පැහැරගෙන යාම, පහරදීම, තුවාල සිදුකිරීම හා බිය වැද්දීම ඇතුළු නීති විරෝධී ක්‍රියා රැසක් සිදුකළ කල්ලි කිහිපය අතර ආවා කණ්ඩායම ප්‍රධානය. එබැවින් යාපනයේ ක්‍රියාත්මක වෙමින් ඇති ආවා ඇතුළු මැර කණ්ඩායම් මැඩපැවැත්වීමට රජයෙන් අවසර ලැබේ නම් යුද හමුදාවට ඊට දින දෙකක් ප්‍රමාණවත් බව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ප්‍රකාශ කර තිබිණි.

පලාලි ආරක්ෂක සේනා මූලස්ථානයේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අප විමසූ විට ආඥාපතිවරයා දේශයට මෙසේ අදහස් දැක්වීය.

දැනට රටේ සිවිල් නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මෙවැනි දේකට හමුදාවට දායක වෙන්න බෑ. පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය අවශ්‍ය කටයුතු සිදු කරනවා. අපිට පොලිස් බලතල නෑ. පවතින තත්ත්වය පිළිබඳව අපි ආණ්ඩුව දැනුම්වත් කර තිබෙනවා. ඉදිරියේදී අවශ්‍ය වුණොත් පොලීසිය සමඟ යුද හමුදාව එක්ව කටයුතු කරනවා. පොඩි සිදුවීමක් වුණත් මිනිස්සු හිතන විදිහ දකින විදිහ ඒ ගැන ප්‍රචාරණය වෙන විදිහ වෙනස්. මේ සිදුවීම් නිසා යුද හමුදාව සිවිල් ජනතාව අතරට ගිහින් ජනතාව පරීක්ෂා කළොත් ඒක ඇතැමුන් වැරදි විදිහට දකීවි.

සිවිල් ජනතාවට හිරිහැර කරනවා කියන්නත් පුළුවන්. ඒ නිසා අපිට උපදෙස් ලැබිලා නෑ මේ සඳහා මැදිහත් වෙන්න. මැදිහත් වෙනවා නම් දවස් දෙකක් ඇති අපිට ගැටලුව විසඳන්න. දැනටමත් පොලීසිය අවශ්‍ය කටයුතු සිදුකළාට අත්අඩංගුවට ගත් අය අධිකරණයට ඉදිරිපත් කරලා දින කීපයකින් එළියට එන නීතිමය තත්ත්වයක් තිබෙන්නේ. ඒ නිසයි මේක තවමත් පවතින්නේ. නීතියේ යම් අඩුපාඩු කීපයක් තිබෙන බවක් පේනවා. කෙසේ වෙතත් මේ කල්ලි ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙලා නෑ.
යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආවා කල්ලිය, ධනුරොක් කල්ලිය, අයි කල්ලිය හා වික්ටර් කල්ලිය වැනි කණ්ඩායම්වල සාමාජිකයෝ ඉකුත් සමයේදී වරින්වර නීති විරෝධී ක්‍රියා රුසක් සිදු කළහ. ඔවුන් ප්‍රදේශයේ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වල නියැලීම ජන ජීවිතයට ගැටලුවක්ව පැවතිණ. මේ පිළිබඳව තොරතුරු අනාවරණය කරගැනීමට යාපනය භාර ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි. එක දිගට කඩාකප්පල්කාරී සිදුවීම් පෙළක් වාර්තා වීමත් සමඟ යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග යටතේ යාපනය, චුන්නාකම්, මානිප්පායි සහ කෝපායි යන පොලිස්ථානවල නිලධාරීන්ගේ නිවාඩු අවලංගුකර විශේෂ පරීක්ෂා කිරීම් හා වැටලීම් සිදුකරන්නට පවා පියවර ගනු ලැබීය.

පළමුවරට ආවා කල්ලිය බිහි වී තිබුණේ 2011 වර්ෂයේදීය. අවුරුදු 25ක් තරම් වයසේ තරැණ පිරිස් ඒකරාශි වීමෙන් සංවිධානය වූ කල්ලිය සෙසු කණ්ඩායම් අතර කැපී පෙනෙන්නට විය. මෙහි මුල් සාමාජිකයන් පිරිස 30කට ආසන්න බවද ආරක්ෂක අංශ වෙත වාර්තා වී තිබුණේ වසර කීපයකට ඉහතදීය. ආරක්ෂක අංශ වාර්තා කරගෙන තිබෙන තොරතුරැ අනුව එම කල්ලිවල තරුණයන් කුඩා කළ පටන් යුද්ධයේ මතකය සමග වැඩුණු අය බවය. මොවුන් දකුණු ඉන්දීය චිත්‍රපටවලට ඇබ්බැහි වූවන් බවත් ඒවායේ පෙන්වන සටන් ජවනිකා හා සිදුවීම් සිය ජීවිතයට ළං කර ගන්නට ආශා කළවුන් බවත් කියැවිණි. එසේම මොවුහු ප්‍රභාකරන් වීරත්වයෙන් සළකන්නට පුරුදුව සිටියහ.

කුමරේෂන් රත්නම් විනෝදන් යාපනයේ නමගිය චණ්ඩියෙකි. අවසානයේ පොලීසියට කොටු වූ විනෝදන් චෝදනා කීපයකට වරදකරු වී යාපනය බන්ධනාගාර ගත වූවේය. විනෝදන් සිරගතව සිටියදී හිතවත් වූ පිරිසකි. ඔවුන් එක්ව කල්ලියක් ගොඩනංවාගත් විනෝදන් කඩු, කිනිසි, මන්නා පිහි ආයුධ අතැතිව යතුරැපැදිවල නැගී මුදල් පසුම්බි සොරාගැනීම, මාල කැඩීම, කොල්ලකෑම, ව්‍යාපාරික ස්ථානවලින් කප්පම් ගැනීම සිදුකළේය. ඒ හරහා කල්ලියේ අරමුණ වී තිබුණේ යාපනය නගරය සිය කල්ලියේ අණසකට යටත් කර ගැනීමය.

ඉහත කී සිදුවීම් රුසක් හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට භීතියක් උපදවන්නට සමත්ව තිබුණි. ප්‍රබල සිදුවීමක් වාර්තා කරමින් ආවා කල්ලිය චුන්නාකම් ප්‍රදේශයේ නිවසකට ඇතුල් වී නිවැසියන්ට පහර දී කපා කොටා දමා පළාගොස් තිබුණි. කල්ලි නායක රත්නම් විනෝදන් යළිත් බන්ධනාගාර ගතවන්නේ ඒ සිදුවීමටය. අනතුරැව කල්ලියට නායකත්වය සපයා තිබුණේ සෙන්දුරන් හා දේවා දෙදෙනාය.

යාපනය ප්‍රදේශයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් පිරිසකට තියුණු ආයුධයකින් පහරදීම සහ එවැනි ප්‍රහාර කිහිපයක් දින කීපයක් තුළදී සිදුකර තිබුණේ මොවුන් විසිනි. දින කීපයකට පසුව රථවාහන පොලීසිය රාජකාරියේ නිරතව සිටියදී ඔවුන් පසුකර යන්නට ගිය යතුරුපැදියකි. එහි තිදෙනකු ගමන්කර තිබුණේ හිස් වැසුම් රහිතවය. පොලීසිය නවත්වන්නට අණ කළත් පළාගිය යතුරුපැදියේ පසුපැදිකරැගේ ඇඳුමේ කොටසකින් අල්ලා බිම දමන්නට පියවර ගත් නිලධාරියෙකි. ඔහු අත තිබූ කෙටේරියක් සොයැගැනුණේ අනතුරැවය. ප්‍රශ්න කිරීමේදී හෙළිවූයේ ඔහුගේ නම සෙන්දුරන් බවත් දින කීපයකට ඉහතදී පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට යොදාගෙන තිබුණේ ඔහු අත වූ කෙටේරිය බවත්ය.

සෙන්දුරන් පොලීසියට කොටුවීමත් සමඟ ආවා කල්ලියට අණ දී තිබුණේ දේවා නැමැත්තෙකි. අනතුරැව ධනංජන් නැමැත්තෙකුද නායකත්වය ගෙන ඇතැයි තොරතුරු වාර්තා විය. පොලීසිය පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකළ මෙහෙයුම් අතරතුර ලද තොරතුරකට සිදුකළ වැටලීමකදී ධනංජන් අත්අඩංගුවට ගැනිණි. ඒ කොළඹ කොටහේන ප්‍රදේශයේ සැඟවී සිටියදීය. ආවා කල්ලියේ ප්‍රධානියා එසේ කොළඹදී කොටුවෙද්දී ඔහුට පෙර නායකත්වය දැරූ දේවා ඉන්දියාවට පැනගොස් සිටින බවද හෙළිකරගෙන තිබේ.

යුද්ධය අවසානයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සියලු යාන්ත්‍රණය සහමුලින් බිඳ වැටී ගියද යුදහමුදාවේ බුද්ධි අංශවල ක්‍රියාකාරීත්වය නිසි පරිදිම සිදුකෙරිණ. ඔවුන් දෙපිරිසම යුද්ධයෙන් පසුව සිය බලය උරගා බලන්නට වූහ. ඒ සඳහා හුදෙකලා සිදුවීම් කීපයක් සිදුකර තිබුණි. ඒ අතර කොල්ලකෑම ප්‍රධානය. ආවා කල්ලියේ නායකයා වූ විනෝදන්ගේ වයස 2013 වනවිට අවුරුදු 21කි. ඔහුට පටබැඳි නාමය ආවායන්ය. ආවායන්ගේ කල්ලිය පිළිබඳ විමර්ශන සිදුකිරීම පිළිබඳව මාධ්‍ය වාර්තා පළවීමත් සමග ආවා කල්ලියේ ඇතැමුන් සමාජ මාධ්‍ය හරහා තමුන් ආවා ගෘෘප් සාමාජිකයන් බවට හුවා දක්වා තිබේ.

මේ ආකාරයට 2016.10.05 දින ත්‍රිරෝද රථයක් හා යතුරුපැදියක් ගිනිතැබීම, 2016.10.30 දින කඩුවකින් කපා පුද්ගලයන් තිදෙනකුට තුවාල සිදුකිරීම, 2017.01.25 දින නිවසකට ඇතුළු වී නිවැසියන්ට පහරදීම, 2017.01.26 බස්රථයකට පහරදීම, 27 වැනිදා පෞද්ගලික දේපළකට හානි කිරීම සහ 2017.01.30 දින වෙළඳ සළකට ගිනිතැබීම යන සිදුවීම් රාශියකට යාපනය, චුන්නාකම් හා මල්ලාකම් අධිකරණවල ආවා කණ්ඩායමට එරෙහිව නඩු විභාග වෙමින් තිබේ.

මේ අතර යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සඳහන් කළේ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත කණ්ඩායම්වල තත්ත්වය ඉදිරියට පවතී නම් පොලීසිය සමග එක්ව අවශ්‍ය පියවර ගන්නා බවය. තවමත් අනාථ කඳවුරුවල රැඳී සිටින පිරිසට හැකි ඉක්මණින් ඉඩම් ලබාදීමට පියවර ගන්නා බවත් මුදල් ප්‍රතිපාදන ලැබුණු විගසම කුඩා කඳවුරු ඉවත්කර පලාලි කඳවුර පරිශ්‍රයේ ස්ථාන ගතවීමටත් එම ඉඩම් ජනතාවට ලබාදීමෙන් පසුව යාපනයේ ප්‍රධාන කඳවුර යාපනය කොටුවට රැගෙන යාමේ සැලසුමක් ඇති බවත් අනාවරණය කළේය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00