2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

උද්ඝෝෂණ තානාපති සහ බල්ලා

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 617

ඒකාබද්දෙ උද්ඝෝෂණේ දවසෙ අපේ රටේ ඉන්න ප්‍රබල රටක තානාපති උන්නැහේ කෙනකුට මාර සීන් එකක් වුණා. උන්නැහේ අමෙරිකාව කිට්ටුව ප්‍රබල රටක තානාපති කෙනෙක් කීවොත් හරි.

බුදු දහම ගැන ලංකාවෙ ඉතිහාසය ගැන දන්න ශාස්ත්‍රිය උගතෙක් වන උන්නැහේ සාමාන්‍යයෙන් දවස පටන් ගන්නෙ ව්‍යායාම කරලා. සමහර දවසට පාරදිගේ දුවනවා. සමහර දවසට බයිසිකල් පදිනවා. තවත් සමහර දවස්වලදි වේගයෙන් ඇවිදිනවා...

ඉතින් උද්ඝෝෂණය දවසෙ පාරවල් පාළුවෙලා තරමක උණුසුම් ගතියක් තියෙද්දි තානාපති තැන සුපුරැදු ලෙස තමන්ගෙ කොළඹ 7 නිවසෙ ඉඳලා පාරට ආවෙ ව්‍යායාමෙට දුවන්න... උද්ඝෝෂණය නිසා සමහර පාරවල්වලට පොලීසිය දාලා වහලා තවත් පාරවල්වල ගමන් මාර්ග වෙනස් කරලා තිබුණා. ඒ අනුව තානාපති තැනත් තමන් වෙනදා දුවන පාර වෙනස් කරලා කොළඹ 7 අතුරු පාරකින් දුවනකොට උන්නැහේ පස්සෙන් එලවගෙන ආපු බල්ලෙක් තානාපතිතුමාගෙ ඇඟට පැනල කකුල හපලා ලොකු තුවාලයක් කරලා...

තානාපතිතුමාට කවදාවත් කිසිම රටකදි මෙහෙම වෙලා නැති නිසා උන්නැහේ හොඳටම බයවුණා. ඒත් එයාගෙ දිවිල්ල නතර කළේ නැහැ. උන්නැහේ දිව්වා. දිව්වා කියන්නෙ හිටු කියලා දිව්වා. දුවලා දුවලා ගිහිල්ලා නැවතුණේ පෞද්ගලික රෝහලක. ඊටපස්සෙ බෙහෙත් කාරිය විදගෙන ව්‍යායාමෙ නවත්තලා ගෙදර ගියා.