2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

මහපුටු ඡන්දෙ එන දවස

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 642

එක්තරා බලවත් රටක තානාපති සයිස් මහත්තයෙක් කැබිනට්ටුවෙ ඉන්න ප්‍රබල සුළු ජාතික ඇමැති කෙනෙක් එක්ක ලොකු කතාවකට සැට්වුණේ උන්නැහේගෙ නිල මැඳුරෙදි...

තමන්ගෙ දේශපාලන පක්ෂයෙ හොඳ ස්වාමි වරයෙක් වන මේ ඇමැති තැනයි තානාපති තැනයි හමුවුණාම ලොකුවටම කතාබස් කළේ හදිස්සියේ එන්න හදනවය කියන මහපුටු ඡන්දය ගැනයි. 

තානාපති තැනගෙ ලොකුම උනන්දුව තිබුණේ මේ ඡන්දෙ ළඟදි එනවද කියල දැනගන්නයි... ඉතින් ඇමැති නැතහොත් ඒ ගැන පෙරැත්ත කර කර අහනකොට උන්නැහේ මේ සුදු තානාපතිට මේ කාරණයට සම්බන්ධ රහසක් හෙළිදරව් කළා...

ඒ කතාවෙ හැටියට ඇමැතිගෙ පාටියෙ ඉහළම තනතුරක් දරන කෙනෙක් රටේ ලොකු මහත්තයගෙන් මේ ප්‍රශ්නය විමසුවලු... එතකොට... රටේ ලොකු තැන ඇමැතිගෙ පාටියෙ ප්‍රබලයට දීල තිබුණෙ මේ වගේ උත්තරයක් බවයි ඇමැති තැන තානාපතිට කීවෙ...

අරය කළ ගොන්කම මමත් කරාවි කියල ඔහේ හිතුවද... බලන් ඉන්නකො ඡන්දෙ එන්නෙ කවදද කියල... කවුරු මොනව කිව්වත් වැඩේ වෙන්නෙ හරි වෙලාවටයි. ඇමැති තැනගෙ මේ උත්තරේ අහපු තානාපති තැනට මඳ සිනාවක් පහළ වුණාලු.