2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

රාජයෝග පින්වතා

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 837

ඡන්ද කිට්ටුවෙනකොට හුඟක් අයගෙ රාජයෝග මතුවෙනව. මේකත් එහෙම කතාවක්... මේ රාජයෝග පින්වතා වයඹ පළාතෙන් තමයි කරළියට ආවෙ... උන්නැහේ තරුණ ජනප්‍රිය හැඩ වැඩ කලාබර චරිතයක්...

පක්ෂ ගණනාවක් මාරැකරල පසුගියදාක හිටපු ලොකු තැනගෙ පැත්තට ඉව අල්ලල... ආයෙමත් අතට පැන්න පොරක්. පසුගිය ඡන්දෙදි ලක්ෂය පන්නල මනාප ගත්ත උන්නැහේ හිතන්නෙ දැන් ඒ මනාප ගණන හුඟක් ඉහළ නැගලය කියලලු... ඒ අවු අස්සෙ තමයි එක්තරා දෛවඥයෙක් උන්නැහේට කියල තියෙන්නෙ ඉස්සරහට රාජයෝගයක් මතුවෙන්න තියෙනව. ඒ හින්ද ඒකට ගැලපෙන්න වැඩ කරන්න කියල.

මේ කතාව දෛවඥය උන්නැහේට පෞද්ගලිකව කිව්වත් ඒක දැන් උන්නැහේ විසින්ම වයඹ පළාතෙ තමන්ගෙ හිතමිත්‍රාදීන් එක්ක කියමින් සිටිනවලු. පසුගිය දවස්වල වයඹ පැත්තෙ දෙතුන් පොළකදිම රාජයෝග කතාව කියපු මුන්නැහේ තමන් රටේ දෙවැනි පුටුවට ගිහිල්ල ඊළඟට මහ පුටුවටත් යන්න ට්‍රයි කරන බවත් ව්‍යංගයෙන් අගවමින් ප්‍රකාශ නිකුත් කරනවලු...

ඒකට යන්න තියෙන හොඳම මාවත කපාගන්න පුළුවන් රටේ ලොකු මහත්තය එක්ක හිටියොත් පමණයි කියන මුන්නැහේ ඒ නිසා දැන් එතන සැට්වෙලා ඉන්නවලු...

හැබැයි වෙන කොහෙන් හරි යෝගෙට පාර කැපුණොත් උන්නැහේ නවතින්නෙ එතන බවත් අමතක කරන්න හොඳ නැහැ.