2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

සුදු කොඩි එසවීම

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 701

ඒකාබද්දෙත් තැන් තැන්වල වාග් සංග්‍රාම පටන් අරන්. එතන අළු යට ගිනි වගේ පසුගිය කාලෙ පුරාම ඇවිලුණු සටනක් තිබුණෙ පංචායුධ උන්නැහෙයි... පොහොට්ටුවෙ මොළකාරයයි අතරෙයි... මේක පරිජෝල් ගිහිල්ල සීමාව ඉක්මවා යනකොට හිටපු ලොකු තැන වැඩේ සමතයකට පත් කරන්න වලියට සම්බන්ධ අයගෙ හමුවක් කැඳෙව්ව... පංචායුධ - වගේම පොහොට්ටුවෙ මොළකාරය ඇතුළු පිරිසක් හමුවට පැමිණියා...

හමුව ආරම්භයෙදිම තියෙන අසෝභන තත්ත්වය ගැන කතා කරපු හිටපු ලොකු තැන වහාම මේ වාග් සංග්‍රාමය නතර කළ යුතු යැයි දෙපක්ෂයටම අණ කළා... පංචායුධ වගේම පංචායුධට උල්පන්දම් දෙන තවත් උඩරට පළාතෙ කෙනකුගෙත් නම කියැවුණා. ඒ වගේම පොහොට්ටුවෙ මොළකාරයගෙත් නම කියැවුණා.

කස්ටියම ඉන්නෙ විපක්ෂයෙ බවත් සටන් කළ යුත්තෙ ඇතුළෙ උදවිය සමඟ නොව ආණ්ඩුව සමඟ බවත් කියමින් හිටපු ලොකු තැන සැරට කතා කරගෙන යනකොට ඒකට මැදිහත් වුණ පංචායුධ හරි හරි සර් සේරම හරි ඔන්න මම සුදුකොඩි ඉස්සුව කියල සාම සාකච්ඡාවට අවතීර්ණ වුණා. ඊළඟට අනෙක් පාර්ශ්වයත් සුහදතාව පළ කළාලු... එහෙම කරල පංචායුධ හා පොහොට්ටුවෙ ලොක්ක අතර තිබුණ ආරවුල යන්තම් ලිහාගත්ත... ඒත් කළුතර කුමාරයගෙ වාග් සටන නම් තවමත් නවත්තගන්න හිටපු ලොකු තැනටත් බැරිවෙලා කියලයි ඒකාබද්දෙ සමහරුන්ගෙ කසුකුසුවලින් දැනගන්න ලැබෙන්නෙ.