2018 ජුලි 21 වන සෙනසුරාදා

ක්‍රිකට් සාත්තරේ

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 850

“මම නැත්නම් ලංකාවෙ ක්‍රිකට් නැහැ” කියන ක්‍රිකට් ලොක්කෙක් ගැන ලංකාවෙන් බිහිවූ සුප්‍රකට ප්‍රවීණ හා ගරු කටයුතු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සාදයකදි අපූරු කතා ගොඩක් කියවුණාලු.

කොළඹ ඉතා ප්‍රසිද්ධ අවන්හලක තිබුණය කියන මේ සාදයේදි ක්‍රිකට් ගැන පම්පෝරි හා පුරාජේරු කතා කරන එක්කෙනාගෙ අතීත වාර්තා මුලින්ම එළියට ඇද්දෙ ලොව පුරා ක්‍රිකට් ලෝලින් අතර නම රැන්දු ප්‍රවීණයෙක්.

එයා කියන විදියට 1996දි ලෝක කුසලානයත් දිනල ක්‍රිකට්වලින් කීර්තියක් අත්පත් කරගෙන තියෙද්දි ඒකාලෙ හිටපු ක්‍රිකට් ලොක්කා ඉවතට තල්ලුකරලා පත්වූ කෙනාගෙ යුගයෙදි ආපු ඊළඟ ලෝක කුසලානෙදි අපි පළමු රවුමෙන්ම එළියට විසිවුණාලු.
ඒ හුටපටෙන් පස්සෙ පසුගිය ආණ්ඩු කාලෙ ක්‍රිකට් පැත්ත පළාතකට නොසිටි මෙයා මේ රජය යටතෙ ආයෙත් ක්‍රිකට් වැඩේ භාරගන්න ඊට පස්සේ වුණහරිය මතක් කළේ ඒවෙනකොට හොඳ පදමක සිටිය තවත් හිටපු පන්දු යවන්නෙක්.

“එයාගෙ කාලෙ තමයි මචංලා ටෙස්ට් ක්‍රිකට් හතරවෙනි තැන ඉඳලා හත්වැනි තැනට වැටු‍ණෙ T-20 ක්‍රිකට්වල බිංදුවටම ගියා... හොඳවෙලාවට බිංදුවට පහළ නොම්මරයක් නොතිබුණේ... තිබුණ නම් T–20 ඊටත් පහළට වැටෙනවා...” කියලා එයා බොක්කෙන්ම කියද්දි තවත් ජ්‍යෙෂ්ඨයෙක් නිහඬතාවය බින්දා.

“මචං කියල වැඩක් නැහැ “one day” වලින් කප්ගහලා හිටපු අපි සිම්බාබ්වේටත් පැරදුණා ඔන්න රැකෝඩ් එක” කියලා එයා කියාගෙන යද්දි කට්ටියට හෝව් හෝව් කියලා කතාව නවත්තපු ප්‍රබල ක්‍රිකට් හිටපු ලොක්කෙක්. “ඒක නෙවෙයි මචං වැඩේ මෙන්න බොලේ මේ කියන මනුස්සය පසුගිය දවස්වල ටික දවසකට ක්‍රිකට්වලින් එළියට තල්ලුවුණා... නේ... ඔන්න අපි ආයෙ මැච් දිනන්න පටන්ගත්ත... ගාල්ලෙදි දිනුවා... ඉස්සරහටත් දිනයි... කියලා අනාවැකි පළකරන්න ගත්තම ඇති ඇති මචංල ඔය ක්‍රිකට් සාත්තරේ නවත්තලා අපි වෙන දෙයක් කරමු කියල ජිප්සීස් සුනිල්ගෙ නැගලා යන සින්දුවක් කියන්න ගත්තලු.