2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

විප්ලවීය මස්සිනාගෙ පූජාව

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 947

දියවන්නා කවුන්සිලෙත් ඉන්න විප්ලවීය පක්ෂයක් නියෝජනේ කරන දේශපාලන මස්සිනා කෙනෙක් උතුරෙ ඉන්න ලොකුම ඇමැති පුටුවක වාඩිවෙලා ඉන්න තවත් දේශපාලන මස්සිනෙක් මුණගැහෙන්න යාපනේ පැත්තට ගියා...

දෙමස්සිනාලගෙ සුහද හමුවෙන් පස්සෙ දකුණෙන් ගිය විප්ලවීය මස්සිනාට උතුරේ සුප්‍රකට නල්ලූර් කෝවිලේ පූජාවකට යන්න හිතුණා... ඊටපස්සෙ උන්නැහේ කෝවිල වඳින්න හිතාගෙන ඒකට ඇතුල් වෙන්න ගියාම කෝවිලේ කපු මහත්තුරු එයා ඇඳගෙන ඉන්න කමිසෙ ගලවල මිසක් කෝවිල ඇතුළට යන්න දෙන්න බැහැ කියල එතන තියෙන නීතිය මතක් කරලා දුන්න...

ඒත් අපේ විප්ලවීය දේශපාලුතුමා ඒක පිළිගත්තෙ නැහැ. උන්නැහේට කමිසෙ පිටින් ඇතුළට යන්න ඕනය කියල ලොකුවට තර්ක කරද්දි කෝවිලේ ලොකු කපු මහත්තයා මේ කෝවිලට ආපු ජනාධිපතිවරැ අගමැතිවරැ පවා කමිසය ගලවා කෝවිලට යන පින්තූරත් පෙන්නුව... ඒත් අපේ විප්ලවීය සහෝදරය ඒව මට වැඩක් නැහැ මට කමිසෙ ඇඳන් යන්නම ඕනය කියලා සද්ද බද්ද කරන කොට කපු මහත්තුරැ එයාට දෙවි දේවතාවුන් එක්ක සෙල්ලම් කරන්න එපා කියල ඇතුළට යන්න දුන්නෙම නැහැ...
ඊළඟට තමන්ට මේ කෝවිලේ පුදපූජා කරන්න නොදීම ආසාධාරණ බව කියමින් එයා විප්ලවේ කරන්න හදනකොට සම්ප්‍රදායෙන් පිටවුණත් ඕනම නම් කෝවිලෙන් එළියෙ ඉඳන් කමිසෙ ඇඳගෙන පූජාවක් කළාට කමක් නැහැ කියල අවසර දුන්න... ඊටපස්සෙ තමන්ගෙ කෝවිල් විප්ලවේ නවත්තපු දේශපාලුතුමා කෝවිලෙන් පිටත පූජාව කරල දෙවියො වැන්ඳලු... ඊළඟට උතුරේ මස්සිනාගෙන් සමුඅරගෙන කොළඹට ඉගිල්ලුණා කියලයි ආරංචි.