2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

මලපැන්න හේතුව

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 561

ඒකාබද්දෙ කස්ටිය වර්ජනේ කරපු “අත” පාටියෙ ලොක්කන්ගෙ රැස්වීමෙදි නිමල හදවතින් කියන ඌවෙං ආපු ඇමැති තැන හිටියෙ තරමක් අප්සෙට් එකේලු.  පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ හැටියට තමන්ගෙ අදහස් ඉදිරිපත් කරන්න වෙලාව ආවම එතුමා පසුගිය අවුරුදු දෙක තුනේම නොකියූ අමුතු කතාවක් කිව්ව කියල ආරංචියි...

එයාගෙ කතාවෙදි උන්නැහැ ආණ්ඩුවෙම ඉන්න අලි පාටියෙන් පත්වුණ කවදාවත් පරාජිත නොවන ඇමැති සගයෙක් ගැන දෝස් මුරයක් දැම්මලු... රටේ ලොකුමහත්තයත් ඉස්සරහ උන්නැහේ කරපු කතාවෙදි කිව්වෙ අහවලා සතිපතා මාධ්‍ය කස්ටියට කරන අසත්‍ය ප්‍රකාශ නිසා පක්ෂයයි - ආණ්ඩුවයි - සමගියයි තුනම නැතිවෙනව කියලලු.

ඊට පස්සේ ඒ ගැන උදාහරණ දෙකතුනකුත් මෙයා දුන්නලු. “දැන් බලන්න සර් ඩුබායි රටේ පරණ ලොක්කට කෝටි ගණන් කියනවය කීව... අහවලාගෙ මරණෙ ඇටසැකිලි දැක්කය කිව්ව... ඉතින් කෝ සර් දැන් ඔය කියාපුව... අපි පක්ෂයෙ මීටිංවලට ගියම පාක්ෂිකයො මේව අපෙන් අහනව... කොහොමද අපි ඕවට උත්තර දෙන්නෙ... මේව සර්ටත් හොඳ නැහැ අපටත් හොඳ නැහැ...”

නිමල හදවතක් කියන උන්නැහේ සැරෙන් කිව්ව...

කවදත් ටිකක් හිතල මතල ජාම බේරගෙන කතා කරන්න දන්න උන්නැහේට එක පාරටම මේ විදියට පරාජිත නොවන ඇමැති එක්ක මලපැන්නෙ ඇයි කියල. පස්සෙ කස්ටිය සොයල බැලුවලු. ඔන්න එතකොටයි ඇත්ත කතාව එළියට ආවෙ.

මෙතුමා පක්ෂයෙ මීටිමකට ගියාම එයාගෙන් ඔය ප්‍රශ්න ටිකම පාක්ෂිකයො අහල... උන්නැහේට උත්තර දී ගන්න බැරිවෙලා... ඊළඟට ලොකු ඝෝෂාවක් ඇවිල්ල නිමල හදවත මාරුවෙලා... යන්න ගිහිල්ල... එදා ඉඳල අපරාජිත එක්ක මලෙන්ලු ඉන්නෙ...