2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

කදිම උපදෙසක්!

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1024

බැඳුම්කර ගනුදෙනුවට නම ඈඳිච්ච ආණ්ඩුවෙ කැබිනට් ඇමැති කෙනකුගෙ නමට සමාන නමක් තියන පොරක් පසුගියදාක මේ ජරමරය ගැන උපදෙස් ගන්න ප්‍රකට දේශපාලන උපදේශක තුමෙක් හම්බවුණා.

උන්නැහේ මේ වගේ ජල්තරේකින් ගොඩ එන හැටි ගැන බොහොම කරුණු කාරණා දන්න කෙනෙක්. ඉතාම දක්ෂ පක්ෂ උපදේශකයෙක් වන උන්නැහේ ඉදිරිපිට අසුන් ගත්ත බැඳුම්කර සගයා කතා කරන්න ගන්න ඕන දේයි එපා දේයි සේරම විස්තර කරලා කිව්වා...

උපදේශකතුමා තවම සද්ද නැහැ. උන්නැහේ කළේ කතාවට කන්දීම පමණයි.

“මම මේ කේස් එකට බය නැහැ සර්... මම මුහුණ දෙනවා...” එයා මුලින්ම කිව්ව... උපදේශකතුමා නිහඬයි.

“මම සාක්කි කූඩුවට නැඟලා අහන ප්‍රශ්න සේරටම කෙළින්ම උත්තර දෙනවා...”

ආයෙම තරුණය කිව්ව. ඒත් උපදේශක තුමා සද්ද නැහැ. එයා හිටියෙ බර කල්පනාවක.

“කවුරු කොහොම හිතුවත් මම සාක්කි කූඩුවෙන් බහින්නෙ... රජෙක් වගෙයි...”

තරුණ ව්‍යාපාරිකයා නැවතත් කිව්ව. ඒ කතාව අහපු උපදේශක තුමාගෙ කට කොනකට හිනා ගියා...

ඊට පස්සෙ දේශපාලන උපදේශක තුමා තමන්ගෙ ගැඹුරු බරසාර හඬින් මෙහෙම කිව්වලු.

“මිස්ටර්... මීට කලින් ඔය කේස් එකටම මෙතෙන්ට ආපු ඇමැති කෙනකුත් මේ පුටුවෙම ඉඳගෙන ඔය කතාවම කිව්වා..”

උපදේශකතුමා පට්ටම ගැලවිච්ච දේසපාලු තුමෙක්ගෙ නම මතක් කළා. තරුණ ව්‍යාපාරිකයා කතාව නවත්තලා කල්පනාවට වැටුණා... එච්චරයි.