2017 ජුලි 15 වන සෙනසුරාදා

ලොක්කගෙ ආදර්ශෙ නොගත්ත ගෝලයා

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 388

විපක්ෂයට නායක වෙච්ච උන්නැහේට ආණ්ඩුවෙන් සුපිරි නිල නිවසකුයි කන්තෝරුවකුයි ලැබිලා... ඒක නීතියෙ හැටියටම උන්නැහේට ලැබෙන්න තියන දෙයක්...

මේ නිල නිවස ලැබිල හුඟක් දවස් ගියත් ඒ කොළඹ 7 නිල නිවසට උන්නැහේ පදිංචියට ආවෙ නැතිලු... එයාගෙ සගයො ඇයි නොයන්නෙ කියලා ඇහුවම උන්නැහේ ඒ අයට කිව්වෙ... තමන්ලා නියෝජනය කරන උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව දුක් විඳිද්දි මන්තිරි ගොල්ල කොළඹ සුපිරි ගෙවල්වල ඉන්න එක හිතට එකඟ නැතිනිසා තමන් අවුරැදු 20ක් හිටපු පුංචි ප්ලැට් එකේම ඉන්න තීන්දු කළා කියලයි.

ජනතාව වෙනුවෙන් තමන්ට ලැබුණ සුපිරි පහසුකම් පරිත්‍යාග කරලා කාමර දෙකක් පුටු දෙකතුනක් මේසයක් ඇඳක් තියන හුණ්ඩුවක් වගේ නිවසක ජීවත්වන උන්නැහේ රටේ හුඟක් දේසපාලකයන්ට ආදර්ශයක් දෙනවා...

උන්නැහේ එහෙම කළාට උන්නැහේගෙම කණ්ඩායමෙන් පත්වෙච්ච උතුරෙන් ආපු සේනාවකට වුණත් නායකකම් කරන්න පුළුවන් කියන මහත්තය තමන්ගෙ ලොක්කගෙ ආදර්ශෙ අරන් නැතිලු. උන්නැහේ මේ දවස්වල උතුරේ තමන්ගෙ ගම් පළාතෙ කිසිම මන්තිරි සයිස් කෙනෙකුට නැති තරමේ සුපිරි මන්දිරයක් හදනවලු. ඒකට ඕන ගෘහ භාණ්ඩ සහ අනෙක් මෙවලම් ගේන්නෙ යුරෝපෙ රටකින්ලු... මිලියන්වලින් බර ගණනක් යන මේ සුපිරි නිවාසය තියන පාරෙ ගිහිල්ල මේ මන්දිරේ පින්තූරයක්වත් ගන්න කාටවත් අවසර නැතිලු.

නායකයා එහෙමයි. ගෝලයො මෙහෙමයි...