2021 ජනවාරි 09 වන සෙනසුරාදා

කේන්දර සෙවිල්ල

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1038

සාත්තර උන්නැහේලා කියන දේශපාලන අනාවැකි ගැන රටේ ඒ හැටි විශ්වාසයක් නැතත් අනාවැකියක් කවුරු හරි කීවොත් ඒ ගැන නිකමට සමාජය උනන්දු වෙන බව නම් ඇත්ත...

පසුගිය දවසක එක්තරා සෑත්තර උන්නැහේ කෙනෙක් ඒ වගේ අනාවැකියක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කරලා තිබුණා...

ඒකෙන් කියැවුණේ රටේ මීළඟ මහපුටු සටනට ඉදිරිපත් වෙලා දිනන්න වාසනාව තිබෙන්නෙ සිංහ ලග්න හිමියකුටය කියලයි. හැබැයි එයා පාලක පවුලෙ අයට සම්බන්ධ කෙනෙක් නොවෙන්න පුළුවන් බවත් සෑත්තර උන්නැහේ කිව්වා...

උන්නැහේ මීට කලින් පළ කළ සමහර අනාවැකි නිසා සෑහෙන තරමට අනාගත්ත කෙනෙක් වුණත් ප්‍රසිද්ධ චරිතයක් නිසා අනාවැකිය ගැන කස්ටිය උනන්දු වුණා.

ඒ අනාවැකිය අනුව ඊළඟ වතාවෙ රටේ මහපුටුව දරන්නෙත් වත්මන් ආණ්ඩු පක්ෂයම බවත් මේ ආණ්ඩුවෙ ඇමැති මට්ටමේ පට්ටමක් දරණ සිංහ ලග්නධාරයකුට ඒ වාසනාව උදාවන බවත් අනාවැකිකරු සඳහන් කරලා තිබුණා...

ඔන්න මේ කතාව ගියා විතරයි කස්ටිය සොයන්න පටන්ගත්තෙ ඇමැති මණ්ඩලේ ඉන්න සිංහ ලග්නධාරින් කවුද කියලයි...

එහෙම සොයාගෙන ගිය අයට ඇමැති මණ්ඩලේ ඉන්න දෙන්නෙක් ඒ ලග්නෙ බව දැනගන්න ලැබුණා..

නමුත් තවදුරටත් එයාල නොදන්න සිංහ ලග්නයෙන් උපන් පුද්ගලයකුත් ඔය මණ්ඩලේ ඉන්නවලු...

කොළඹින් ආපු වංශවත් ඇමැති කෙනෙක්. ඒ වගේම බොරළු ගොඩක් තියෙන පැත්තකින් ආපු ඇමැති කෙනෙක් සහ දකුණෙන් ආපු තරුණ ඇමැති කෙනකුත් ඒ අතර වන බවයි ආරංචි. 
හැබැයි දකුණෙ ඇමැති රටේ ඉහළම පවුලට සම්බන්ධ නිසා ඔය සාත්තරේට ගැලපෙනවද කියන එක ප්‍රශ්නයක්ලු...

කොහොම නමුත් දැන් මේ ගැන උනන්දු වෙන උදවිය ඇමැති මණ්ඩලේ කේන්දර කොපි සොයන්න පටන් අරන් කියලා ආරංචියි.