2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

බලෙන් වන්දනීය වෙන්න හදන පිංවතෙක්

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1010

ලංකාවෙ එක්තරා විශාල පළාතක නගරාධිපතිවරයෙක් ඉන්නව.... උන්නැහේ ඉන්න පළාත රටේ වගේම ආණ්ඩුවෙත් ප්‍රබලම දේශපාලනඥයො නියෝජනය කරන පළාතක්.

පසුගිය කාලෙ මේ නගරාධිපතිවරය කළ “නරකාදි” වැඩක් කියා නිතර නිතර මාධ්‍යයෙ නමත් කියැවුණා. ඒත් දේශපාලන බලවත්තු එයාගේ “මයිල් ගහකටවත්” වරදක් වනේන දෙන්නෙ නැහැ කියල මෙයාව බේරාගත්ත....

ඉතාම සාමාන්‍ය තත්ත්වයෙන් දේශපාලනේ කරල අමාරුවෙන් පළාතෙ නගරාධිපති පුටුවට නැගගත්ත මුන්නැහේ තමන් විසින්ම තමන් ගෞරවනීය තත්ත්වයට පත්වෙන්න සැලසුමක් ක්‍රියාත්මක කරලලු....

ඒ අනුව නගර සභාවෙදිත් ඉන් පැහැර උත්සවවලදීත්.... එයා ගැන ගහන බැනර් පෝස්ටර්වලත් නගරාධිපති ගැන කතාකරන සැමවිටමත් “අපේ වන්දනීය නගරාධිපතිතුමා” කියල යොදන හැටියට නියෝගයක් කරලලු...

ඒ අනුව දැන් එයාගෙ බල ප්‍රදේශයේ සමහර තැන්වල මේ වන්දනීය වචනය දාල බැනර් පෝස්ටරුත් ගහල තියෙනව....
ඒ වගේම උත්සව සභාවලදීත් වන්දනීය නගරාධිපතිතුමා කියල අමතර පිරිසකුත් ඉන්න බවයි ආරංචි. කවුරුවත් එහෙම ආමන්ත්‍රණය නොකළොත් එයාට හීනියට මල පනින බවත් තතු දත් අය කියනව....

ගිගුරැම් කාලෙට හතු පිපෙනව වගේ වරින්වර මතුවෙන මෙවැනි දේශපාලන පොරවල් කරන කියන දේ ඇහුවම - දැක්කම දේශපාලනේට තිබෙන ගෞරවයත් නැතිවෙනව. එහෙම වුණත් පළාතෙ ලොකු තැන්වල අනුග්‍රහයෙන් උන්නැහේ බලෙන්ම “වන්දනීය වෙලා” වැජඹෙනව මේව අහන් දැන් දිව්‍යලෝකෙ ඉන්න බුවනෙකබාහු රජ්ජුරුවත් හිනාවෙනව කියලයි අපට ආරංචි....