2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

ගණන අටයි

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1036

විසිවැනි සංශෝධන ඡන්දය ගැන ආතල් කතා සමහරක් දොට්ට පැන්නෙ ඡන්දෙ ඉවරවෙලත් දවස් ගණනකට පස්සෙයි...
පක්ෂ මාරුවලට සම්බන්ධ මේ හුඟක් කතා තිරය පිටුපස්සෙ සිද්ධ වෙච්ච දේවල්.... මේවට සම්බන්ධ උදවිය දැන් ඉන්නේ මුකුත් සිද්ධ නොවුණ ගණනට...

අපි මේ කියන්න යන්නෙ දියවන්නාවෙ ඉන්න දෙන්නෙක් ගැන. මේ දෙන්න ඉන්නෙත් වැඩ කරන්නෙත් එකටම වගේ. එකට යාවුණ පළාත් දෙකකින් පත්වුණ මුන්නැහේල ඉන්නෙ ටෙලිෆෝන් සන්ධානෙ.

20ට ඡන්දය විමසන කාලෙ වෙනකොට මේ දෙන්න තමන්ගෙ පක්ෂයේ ඉහළ තැන් එක්ක කොක්කක පැටලිලා හිටපු බව හුඟ දෙනෙක් දන්නව.... 

ඒ හින්දම මේ අයගෙ ගඳ සුවඳ දන්න ආණ්ඩු පක්ෂයේ දෙතුන් දෙනෙක් මෙයාලට කොක්ක ගැහුව.

කොක්ක ගහල කිව්වෙ 20ට ආණ්ඩුවත් එක්ක ඡන්දය දෙන්න කියලයි. ඊටපස්සෙ මේ දෙන්නම ආණ්ඩුවෙ අයගෙන් විමසුවෙ එක පොදු ප්‍රශ්නයයි.

“අපි ඡන්දය දෙන්නම්. අපිට මොකද වෙන්නෙ?” ඒක ඕනම කෙනෙක් මේ වගේ වෙලාවක අහන සාමාන්‍ය ප්‍රශ්නයක්.
එතකොට ආණ්ඩුවෙන් කතාකළ අය “මොනවද වෙන්න ඕන කියල ප්‍රශ්න කළා...”

ඊටපස්සෙ විපක්ෂයෙ දෙන්න විවෘතවම කතාවට ආවලු. ඇවිල්ල කිව්වෙ මෙහෙමයි... “අපිට තනතුරු එපා... ඒත් අරව නම් ඕනෑ” කියල ගනුදෙනුවට බැස්ස...

“ඔයාලගෙ බලාපොරොත්තුව කොච්චරද?” ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා.

“එක්කෙනාට අටක් බැගින් ඕන... හැබැයි ඡන්දෙට කළින්...” එයාල තමන්ගෙ තීන්දුව කිව්ව.

ඊටපස්සේ ආණ්ඩුවෙ මණ්ඩලේ කස්ටිය රහසෙ මේ ගැන සාකච්ඡා කළාලු. “එක්කෙනාට කෝටි 8යි. දෙන්නට 16යි. ඒ ගණන හොඳටම වැඩියි” කියල එයාල තීන්දුවකට ආව...

ඊටපස්සෙ ගණන අඩු කරන්න යෝජනා කළත් අර දෙන්න අටෙන් පහළට ආවෙම නැහැ.... ඒ හින්ද අන්තිම පැය තුනේදී ගනුදෙනුව නැවතුණා. දැන් එයාල විපක්ෂය ඉන්නව. හිටු කියල ආණ්ඩුවටත් ගහනව... මේ කතාවෙ ඇත්ත දන්න අය අනේ කාලේ වනේ වාසේ කියනව.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00