2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා

කොලේ වැහීම

 2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 728

මේ රටේ එක්තරා සුළු පක්ෂයක නායක පිරිසක් ආසියාවෙ බලවත් රටක තානාපති මට්ටමේ කස්ටියක් හමුවුණා කියමුකො...

හම්බුවෙලා එයාල කතා කළේ අපේ ව්‍යවස්ථා සංශෝධනය ගැන බවයි ආරංචි... මේකෙදි ඒ රටටයි අපේ රටටයි බලපාන බොහෝම සංවේදී කාරණා සාකච්ඡා කරලා තිබුණා...

අහවල් දේ කළොත් අපි මෙහෙම කරනවා වගේ කතාවල් කියැවිලා තිබුණලු.

තාතාපති අංශෙ කස්ටියගෙ කතා අහලා ආතල් වෙච්ච අපේ රටේ සුළු පක්ෂයෙ කස්ටිය සාකච්ඡාවෙන් පස්සෙ එළියට කිව යුතු දේයි... නොකිව යුතු දේයි රහස් ටිකයි සේරම මාධ්‍යයට කිව්වා... ඒකෙන් අර තානාපති අංසෙ කස්ටිය මාර අපහසුතාවකට පත්වුණු බවත් ආරංචියි...

ඊටපස්සෙ එයාල මේ දේශපාලන පක්ෂයෙ නායකයන්ට පණිවුඩ පිට පණිවුඩ යැව්වා... යවල මේ කතාව නිවැරදි කරල තමන් පත්වෙච්ච අපහසුවෙන් ගලවගන්න කියල ඉල්ලීමකුත් කළා...

කොහොම නමුත් සාකච්ඡාවට ගිය සුළු පක්ෂ ලොක්කට මේක වාතයක් වෙන තරමට හතරවටෙන්ම බලපෑම් එල්ල වුණා... අන්තිමේදි කරන්න දෙයක් නැතුව එයා තමන්ගෙ ට්විටර් එකේ මෙහෙම පණිවුඩයක් සටහන් කළා...

අපි අපේ පක්ෂයෙ නියෝජිතයො එක්ක අහවල් තානාපති අංශෙ කස්ටිය හමුවුණා. සුහද කතාබහක් තිබ්බා... හැබැයි ඒ ගැන ඔය මාධ්‍යය කියන සියලුම කතා බොරු...

එහෙම කියල ඒ පක්ෂ නායකයා වැඩේට සුදු හුණු පාරක් ගෑවා... පත්තු වෙන්න ගිය දේශපාලන ගින්න නිවුණා.