2020 මැයි 23 වන සෙනසුරාදා

හොඳ සිරිත් ගැන මහින්දගේ අවවාදය

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 729

පසුගිය දවසක රටේ දෙවැනි මහත්තයගෙ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයන්ගෙ හමුවක් තිබ්බ.... ඒක තිබ්බේ රටේ මහ පක්ෂවල ඉන්න නායකයන්ගෙන් කොරෝනා වසංගතේ පාලනේ කරන්න ඕනකරන අදහස් උදහස් ගන්නයි.

ඒත් සමහර පක්ෂ මේ හමුවට ආවේ නැහැ... නමුත් උතුරු සන්ධානෙ කස්ටිය සේරම වගේ ඇවිල්ල තමන්ගේ ජනතාවට බලපාන ප්‍රශ්න ඉදිරිපත් කළා. හමුව අවසාන වෙන්න කිට්ටුව උතුරැ සන්ධානෙ ලොකු පුටුවෙ ඉන්න ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයා වන සම්පන්දන්තුමා ලියුමක් අරන් රටේ දෙවැනි මහත්තය ළඟට ආව...

ඒ වෙලාවේ තමන්ගෙ ආසනයෙන් නැගිටල ලියුම භාරගත්ත මහින්ද උන්නැහේ උතුරු සන්ධානෙ ප්‍රධානියා කිව්ව කාරණාවලට මිනිත්තු දෙක තුනක් සවන් දුන්න. ඒ කතාව එතනින් ඉවරවුණාට මේකට සම්බන්ධ තවත් වැඩක් ඊට පස්සෙ සිද්ධ වුණා. මේ රැස්වීමෙන් පස්සේ මහින්ද උන්නැහේ හම්බුවෙන්න ආපු ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අමුතු ප්‍රශ්නයක් එයාගෙන් ඇහුව....

“සර් ලංකාවෙ අගමැති... ඇයි සර් අගමැති හැටියට රැස්වීමේ මුලසුනේ ඉඳිද්දි සම්පන්දන් උන්නැහේ ආවම නැගිට්ටෙ... සාමාන්‍යයෙන් අගමැතිවරු හිටපු මන්ත්‍රීල එනකොට එහෙම නැගිටින්නෙ නැහැනේ...” ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අහපු මේ කතාවට තෙම්පරාදු දේශපාලනේ හොඳට පුරුදු මහින්ද උන්නැහේට ටිකක් තරහත් ගියා. ඊට පස්සේ එයා කාරණාව පැහැදිලි කළේ මෙහෙමලු...

“අපේ රටේ සිරිතක් තියෙනව වැඩිහිටියන්ට ජ්‍යෙෂ්ඨයන්ට සලකන්න. මම පාර්ලිමේන්තුවෙදිත් හැමදාම ජ්‍යෙෂ්ඨයන්ට සැලකුව... සම්පන්දන් කියන්නෙ ඉතාම ජ්‍යෙෂ්ඨ පක්ෂ නායකයෙක්... පරිණත දේශපාලනඥයෙක්... ඉතින් ඒ වගේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකුට නම්බුකාර විදියට සැලකීමේ වැරැද්ද මොකද්ද? ඕගොල්ලො තරුණ දේශපාලනඥයො. ඒ හින්ද හොඳ සිරිත් ඉගෙන ගන්න... ඒවට ඔය පටු පක්ෂ දේශපාලනේ ගාවගන්න එපා... ඒක හොඳින් මතක තියාගන්න...”
මහින්ද උන්නැහේගෙ මේ උත්තරෙන් පස්සෙ විරෝධය දක්වන්න ආපු මන්ත්‍රී කස්ටිය නිකම්ම පසුබැස්ස.