2020 මාර්තු 14 වන සෙනසුරාදා

කූපන් දානයක්

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 516

ඡන්දෙ එන්නත් කලින් මනාප සෙල්ලම නැගලම යනවා... දිනන්න පුළුවන් අයයි බැරි අයයි දෙගොල්ලම තමන් දන්න සියලුම ඇමවල් පාවිච්චි කරන්නෙ මනාප ගොඩ වැඩිකර ගන්නලු. ඒ සඳහා තමන්ගෙ ඡන්ද බලප්‍රදේශවල ජනතාවට නොයෙක් වරදාන වරප්‍රසාද දෙන්නත් එයාලා අමතක කරන්නෙ නැහැ...

කාලෙට ගැලපෙන පළාතට ගැලපෙන ජනතාව කැමති දේවල් තමයි උන්නැහේලා ජනතාවට තෑගි කරන්නෙ. එහෙම තෑගි කරලා අන්තිමේදි මතක් කරන්නෙ තමන්ගෙ මනාප නොම්බරේලු...

මේ මනාප මී පොරේ අස්සෙ ලොකු සටනකට බැහැලා ඉන්න එක්තරා අපේක්ෂකතුමෙක් ඉන්නවා මේ රටේ හුඟක්ම සීතල දිස්ත්‍රික්කෙක... දුගී දුප්පත් ජනතාවට පියෙක් වගේ සලකන උන්නැහේ යහපාලන ආණ්ඩු කාලෙ මන්ත්‍රී පදවියකටත් පත්වුණා... එයා මන්ත්‍රී පදවියට පත්වුණේ ඡන්දෙ කාලෙ හොඳට අත දිග ඇරලා වියදම් කරලයි.. අපි ඔය කියාපු සීතල දිස්ත්‍රික්කෙ එයාගෙ ව්‍යාපාර ගොඩක් තියෙනවා.. ඒ සේරොම සුරාමේරය ශික්ෂාපදේට සම්බන්ධයි...

ඉතින් මුන්නැහේ මේ පාර තමන්ගෙ මනාප අභියෝගෙ ජයගන්න ඒ පළාතෙ සීතලේ ඉන්න හිතවත්ම පිරිස් තෝරල එක්තරා කූපන් එකක් දෙනවලු... ඒ කූපන් එක අරන් එයාගෙ පොට් එකකට ගියාම ජනතාවට ඇඟ රත්කර ගන්න යම් දෙයක් තෑග්ගට ලැබෙන බවත් ආරංචියි. සමහරැන්ට ලැබෙන කූපන්පත වාර දෙක තුනක්ම පාවිච්චියටත් අවසර තිබෙන වගයි තතු දත් අය කියන්නෙ...

මේ කූපන් දානයෙන් උන්නැහෙ ප්‍රාර්ථනා කරන්නෙ අවුරැදු මාසෙ ඡන්දෙන් දියවන්නා දිවිය ලෝකෙට ඊළඟ පාරත් සම්ප්‍රාප්ත වෙන්නලු...