2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

ඇයි අපි කළු ද?

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 1074

අලි පාටියෙ කස්ටිය හදපු සන්ධාන මහ ලේකම් පට්ටම ගැන පසුගිය සති දෙක තුනේම තිබුණෙ වාද විවාද. මේ වාද විවාද කරමින් සජිතුමාගෙ හිතවතුනුයි නායකතුමාගෙ හිතවතුනුයි කඹ ඇදීමක් කළේ ඉදිරි මහ ඡන්දෙදි වඩාත් බලවත් වෙන්නෙ අලුත් සන්ධානය නිසාලු.

කොහොම හරි මේ මහලේකම් පුටුව සම්බන්ධයෙන් ලොකු ඝෝෂාවක් මතුවෙද්දි ඒ පට්ටමට තමන් සුදුසුය කියල හිතපු අලුත් චරිතයකුත් මතුවුණාලු....

මේ අලුත් චරිතය විසින්ම කලින් ප්‍රකාශ කරලා තිබුණ විදියට එයා මේ රටේ දේශපාලනේ තීරණාත්මක වැඩ ගණනාවකට සම්බන්ධ වුණ කෙනෙක්ලු.

යහපාලනේ ගේන්න පුලතිසිපුරෙන් අලුත් නායකය තෝරගෙන ඒ සන්ධානය අටවන වැඩෙත් උන්නැහේ ලොකු මෙහෙවරක් කළ බවත් එයා කියනවා. ඒ තරම් වයසක් නැතිවුණත් එයා දේශපාලන පවුලක පුතෙක්. උන්නැහේගෙ තාත්ත වමෙන් පටන් අරන් පස්සෙ දකුණට ආපු පොරක්....

කොළඹට කිට්ටු දිස්ත්‍රික්කයකින් දියවන්නාවට පත්වෙච්ච ඉතාමත් %චතුර^ ලෙස දේශපාලනය හසුරවන මේ දේශපාලන පුත්‍රයගෙ නම අලුත් සන්ධාන කතාවට ගෑවුණේ සන්ධානෙ හදන්න ලියාපදිංචි කරපු පක්ෂයක් සොයමින් හිටපු අලි පාටියෙ මැති ඇමැති කස්ටියට එයා කියාපු කතාවක් නිසයි.

මේ දේශපාලන පුත්‍රයටත් ලියාපදිංචි කරපු පක්ෂයක් තියෙනවා.... ඒකෙ ලේකම් පදවිය දරන්නෙත් එයාමයි. ඉතින් ඒ පක්ෂය අලුත් සන්ධානෙ හදන්න දෙන්න බැරිද කියල පක්ෂයක් සොයමින් සිටි කස්ටිය මේ දේශපාලන පුත්‍රයගෙන් අහලා...
එතකොට එයා කිව්වෙ පක්ෂය දෙන්නම් හැබැයි ලේකම්කම තමන්ටම ඕනය කියලලු.

තමන්ට ඒ පදවිය නියමෙටම කරන්න පුළුවන් බවත් එයා අඟවල තිබුණා...

ඒ වුණත් අලි පාටි සන්ධානෙ කස්ටිය ඒ යෝජනාව භාරගත්තෙ නැහැ. එයාල වෙනම පාටියක් හදාගෙන සමගි බලවේගය නමින් ඒක ලියාපදිංචි කළාලු. මද්දුම උන්නැහේ ලේකම්කමටත් දැම්මලු....

ඒ ගැන මේ දේශපාලන පුත්‍රයා දුකින් ඉන්න බව කියැවෙනවා...