2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

හාල් අපේක්ෂකතුමා!

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 1142

අලි පාටි සන්ධානෙ මහ ලේකම්කමටත් නාම යෝජනා වෙච්ච කොළඹ පැත්තේ දේශපාලන හිරු වගේ දේශපාලන නායකයෙක් තවත් පාටි ලොක්කො කිහිපදෙනෙක් එක්ක ලොකු සාකච්ඡාවක්...

උන්නැහේ කතා කළේ ඉදිරියට එන මහ ඡන්දෙ ගොඩදාගන්න විදියක් ගැනයි. තමන්ගේම පාටියේ කස්ටිය හන්දි හන්දි ගානේ පක්ෂයෙ අඩුපාඩු ගැන කතා කරල පක්ෂය පැදුරෙනුත් බිමට ඇදලා දැම්මා කියලා එයාලා ලොකු අසන්තෝසෙකින්ලු හිටියේ...

කොහොම හරි ඉදිරි මහඡන්දෙදි හොඳ තැනකට එන්න නම් හොඳට ඡන්දෙදි වියපැහැදම් කරලා වැඩේ ගොඩ දාගන්න පුළුවන් පොරවල් අපේක්ෂකයො කරන්න ඕන කියලා යෝජනාවකුත් ඇවිල්ලා...

විශේෂයෙන්ම පොහොට්ටුවට බලේ තියෙන රජරට අනුරාධපුරේ පැත්තට පෙරළිකාර චරිතයක් ගේන්න ඕන කියලා මෙයාලා කතාවෙද්දී ඒකට සුදුසු කෙනෙක්ගෙ නමත් හිරුලගේ කස්ටිය යෝජනා කරලා... හැබැයි ඒ නම දැනට අයිති රටේ මහපුටුව හොබවපු පවුලකට. ඒ පවුලේ ඉන්න හාල් රජ්ජුරුවො අලි පාටියෙන් නාම යෝජනා දීලා මේ පැත්තට බාගත්තොත් එයා හොඳ ගේමක් දෙයි කියලා කතාව දිගටම අරන් ගියා...

හාල් රජ්ජුවොත් කොහොමින් හරි ඡන්දෙට ඉව අල්ලන බව දැනගෙනයි හිරු මේ යෝජනාව කළේ. ඒ ගැන හාල් මෑන් එක්ක කතා කරල බලන්නත් ඒ මොහොතේදී තීන්දු වෙලා. හැබැයි හාල් මෑන් දැන් රටේ මහ පුටුවේ වැජඹෙන මහත්තයට තිබෙන බය පක්ෂපාතකම නිසා මේ වැඩේ පත්තුවෙයිද කියලා සැකයක් තිබෙන බවත් පිරිස කතා වුණා. හෙට අනිද්දට හිරු - හාල් වැඩේ ප්‍රගතිය අපට බලාගන්න පුළුවනි.