2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

ඔත්තුවට ස්තූතියක්

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 1362

හිටපු ලොකුතැන තවත් විපක්ෂ මන්ත්‍රී කස්ටියක් එක්ක බෝම්බ ප්‍රහාර විවාදය දවසෙ මැතිසබා කැන්ටිමේ තේ පානය කරමින් හිටියා.

ඒ මොහොතෙ එතෙන්ට ආපු උතුරු සන්ධානෙ තිරන් මන්තිරිතුමා අහළ පහළ ගැවසෙන්න ගත්තම හිටපු ලොකුතැන ඇහුව මොකද කියලා. ඊටපස්සෙ උන්නැහේ කිව්ව මට සර් හමුවෙන්න ඕන. කියලා... ඊළඟට හිටපු ලොකුතැන නැගිටලා මන්ත්‍රී කණ්ඩායමෙන් ඈතට ගියේ තිරන් මන්ත්‍රීතුමා රහසිගත දෙයක් කියන්න ආවද කියලා හිතමින්....

විපක්ෂනායකවරයා නැගිට්ටම ඔහුත් සමඟ කතාවට වගේ ආපු තිරන් මන්ත්‍රීතුමා කවදාවත් නැතුව විපක්ෂනායකට අතට අත දීලා ඉතාම සුහදතාව පළකරමින් කතා කරන්න ගත්තා.... මේ ගැන ඈත ඉඳන් බලාගෙන හිටපු ඒකාබද්දෙ මන්ත්‍රී කස්ටියටත් අමුත්තක් දැනුණා. කොහොම හරි විනාඩි ගණනාවකට පස්සේ නැවතත් හිටපු ලොකු තැන එතැනට ආවා. උන්නැහේ ආවම කවුරැත් ප්‍රශ්නාර්ථ මුහුණින් එයා දිහා බැලුවම එයාට තේරුණා තමන්ගෙන් අහන්න යන දේ...

එයා මට ස්තූති කරන්නයි ආවෙ... හිටපු ලොකුතැන කිව්වා.

ඇයි ඒ? මන්ත්‍රීවරු ඇහුව.

පෙරේදා එයා ප්‍රහාරයට ලක්වුණ මඩකලපු පල්ලියට යන්න සූදානම් වෙලා හිටිය. ඒ වගේම එයා එතෙන්ට ඒ මොහොතෙ ගියොත් එයාට ප්‍රහාරයක් එල්ල කරන්නත් පළාතෙ කට්ටියක් සූදානමින් ඉන්න බව මට ආරංචි වුණා. එයාල මට මොනව කීවත් දන්න කියන කෙනෙක් දැන දැන කරදරේ වැටෙන්න දෙන්න හොඳ නැහැනේ... ඒ නිසා මම මිනිහට කතා කරල කිව්ව ඔතෙන්ට ඔයා යන්න එපා ප්‍රශ්නයක් ඇතිවේවි කියලා.... ඒ නිසා මිනිහ  එතෙන්ට ගියේ නැහැ. පස්සෙ එයාටත් තොරතුරු ලැබිල තිබුණ මගේ ඔත්තුව හරි බව. ඒකට ස්තූති කරන්නයි එයා ආවෙ... හිටපු ලොකු තැන කාරණා පැහැදිලි කළා...

පාර්ලිමේන්තුවේදී අපි වාද කරගත්තට මිනිස්සු කවුරුවත් කරදරේ වැටෙන්න දෙන්න හොඳ නැහැනේ... හිටපු ලොකුතැන කතාව හමාර කරමින් කිව්වා....