2019 ජනවාරි 12 වන සෙනසුරාදා

අපූරු තෑග්ගක්

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 1154

විපස්සයෙ මහ පුටුව හිටපු ලොකු තැනට දෙන්න බැහැම කිය කියා හිටපු උතුරු සන්ධානෙ උදවියට දියවන්නා කවුන්සිලේ ලොකු මහත්තයා අන්තිම තීන්දුව දුන්නා...

ඒ සමඟ උන්නැහේලා මෙතෙක් භාවිත කළ නිල කන්තෝරුව, නිල වාහන, නිල නිවාස සේරම හිටපු ලොකු තැනට බාරදෙන්නත් නියම කළා...

මේ නිසා උතුරු සන්ධානෙ අය මෙතෙක් භාවිත කළ කන්තෝරුව එහෙම හිටපු ලොකු තැනගෙ නිලමෙලා බාරගන්න කටයුතු සංවිධානය කළා...

ඒ කටයුතු කෙරෙද්දි හිටපු ලොකු තැන තමන්ගෙ ලේකම්වරු අමතා විශේෂ උපදෙසක් දුන්නලු. ඒකෙන් කියවුණේ මෙහෙමලු. 

අපිට හිමි දේ බාරදෙන්න එයාල කොච්චර අදිමදි කරල හිරිහැර කරන්න උත්සාහ කළත් අපි ඒ මට්ටමට වැටෙන්න නරකයි. ඔය සන්ධානෙ ජ්‍යෙෂ්ඨය දියවන්නා කවුන්සිලෙත් ඉන්න පැරුණිම කෙනෙක්. ඒ නිසා එයා දැන් ඉන්න මට හිමි නිල නිවාසෙ එයාටම දෙන්න. ඒක මම කරන්නෙ වැඩිහිටියකුට කරන සැලකිල්ලක් හැටියටයි... මට මේ තියෙන නිල නිවාසෙ හොඳටම ඇති. අපිට එයාල කොහොම කළත් අපි ඒ මට්ටමට වැටෙන්නෙ නැති බව ක්‍රියාවෙනුයි පෙන්නන්න ඕනෑ...

හිටපු ලොකු තැන තමන්ගෙ තීන්දුව ප්‍රකාශ කළා. ලේකම්වරු මුහුණට මුහුණ බලාගත්තා.