2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

හන්තානේ කැළෑ අැතුළේ ටියුෂන් ජෝඩු

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 71

මහනුවර හන්තාන පෙදෙසේ කැලෑබද ස්ථානවලට පැමිණෙන අවුරුදු 14 සිට අවුරුදු 15, 16, 17 යන වයස් ප්‍රමාණයන්හි පසුවන පාසල් සිසු සිසුවියන් හා අමතර පන්ති (ටියුෂන් පන්ති) සඳහා පැමිණෙන සිසු සිසුවියන් පිරිසක් කැලෑව තුළ අනාචාරයේ හැසිරීම නිසා අවට විහාරස්ථානවලට යන එන ජනතාව දැඩි දුෂ්කර තත්ත්වයකට පත්වී සිටිති.

මෙම තරුණ සිසු සිසුවියන් කැලෑව තුළ ඉතා අනාරක්ෂිත පෙදෙස්වලට ඇතුළු වී අනාචාරයේ හැසිරෙද්දී තවත් කොල්ලකාරී තරුණ පිරිස් ඔවුන් වෙත කඩාවැදී එම තරුණ තරුණියන්ගේ මුදල්, රන් ආභරණ, ජංගම දුරකතන හා වටිනා භාණ්ඩ කොල්ලකාගෙන පලායන බව අවට පදිංචි ජනතාව පවසති.

දිනපතාම යතුරුපැදිවලින් හා ත්‍රිරෝද රථවලින් හන්තාන කන්දේ කැලෑබද ප්‍රදේශවලට පැමිණෙන මෙම පාසල් සිසු සිසුවියන් කැලෑවේ සිටින අනතුරුදායක සතුන්ගේ (සර්පයන්, දිවියන්, වල්ඌරන් ඇතුළු විෂඝෝර සර්පයන්) පීඩාවන්ටද ලක්වීමට ඉඩ තිබේ.

තම නිවෙස්වලින් මහනුවර අමතර පන්තිවලට ඉගෙනීමට පැමිණෙන මෙම තරුණ පිරිස් කැලෑව තුළ අඩනිරුවතින් අනාචාරයේ හැසිරීම නිසා අවට පදිංචි ජනතාවගේ තරුණ දූ දරුවන්ට ද බොහෝවිට අස්ථාන චෝදනා එල්ලවෙමින් තිබේ.

ජංගම දුරකතන කැමරා රැගෙන කැලෑව තුළට ඇතුළු වන පාසල් සිසු සිසුවියන් ඔවුන් හඳුනාගත නොහැකි අන්දමට වෙනත් ඇඳුම්වලින්ද සැරසී පැමිණ සිටින අතර ඇතැමුන් අතේ අමතර පන්තිවල ඉගෙනීමට රැගෙන එන පොත්පත්ද තිබෙනු දක්නට ලැබිණි.

වරින්වර හන්තාන කැලෑව තුළදී මංකොල්ලකෑමට හුරු වී සිටින සංවිධානාත්මක තරුණ කල්ලි මෙම පෙම් ජෝඩු බියගන්වා ඔවුන්ගේ මුදල් මංකොල්ලකෑමද සිදුකරන අතර ඒ සම්බන්ධව කිසිවකු පොලීසියට පැමිණිලි කිරීමටද ඉදිරිපත් නොවන බව මහනුවර පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයෙක් කීය.

ජාති, ආගම්, කුල භේදයකින් තොරව විවිධ ජාතීන් ආගම් නියෝජනය කරන පාසල් සිසුවියන් මෙසේ හන්තාන කැලෑව තුළට ඇතුළු වී තම පෙම්වතුන් සමඟ අනාචාරයේ හැසිරෙන අවස්ථා ඇතැමුන් ඡායාරූපගත කළද ඔවුන් ඒ සම්බන්ධව කිසිවක් නොදැන සිටීමද මවිතයට කරුණකි.

කැලෑව තුළට පැමිණෙන පාසල් සිසු සිසුවියන් මහනුවර සහ අවට ප්‍රදේශවල විදුහල්වල ඉගෙනීම ලබන අයවලුන් බවද අපි කළ සොයා බැලීම්වලදී අනාවරණය විය.

හන්තාන ප්‍රදේශයේ පිහිටි හන්තානගිරි මහා විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් ප්‍රකාශ කළේ මෙසේ අනාචාරයේ හැසිරීම ඉතාමත් සෝචනීය තත්ත්වයක් බවයි. මව්පියන් කිසිවක් නොදන්නා නමුත් කැලෑව තුළ අවිනීතව හැසිරෙන සිසු සිසුවියන් කිසියම් අනතුරුදායක තත්ත්වයකට පත්වුවහොත් එහි වගකීම බාරගන්නට කිසිදු වගකිව යුතු අංශයක් නොමැති බව පැවසූ ධම්මාලෝක හිමියෝ මේ සම්බන්ධයෙන් මහනුවර පොලිස් මූලස්ථානය කිසියම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව සඳහන් කළහ.

සටහන හා සේයාරූ I ජේ.ඒ.එල්. ජයසිංහ, තෙල්දෙණියේ චන්දන උඩුවාවල