2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

අසත්පුරුෂ ඇසුරින් සත්පුරුෂයෝ නපුරු වෙති

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 99

දේවදත්ත හිමියන් ඇසුරු කරන හිමිනමක් ජේතවනාරාමයේ විසුවා. මේ භික්ෂුවගේ ඇසුර ගැන භිකෂුන් වහන්සේලා බුදුරජාණන්වහන්සේට ප්‍රකාශ කළා. අසත්පුරුෂයන් ඇසුරු කිරීමෙන් සත්පුරුෂයන් නපුරු වෙනවා. අගුණවැල් කොහොඹ සමඟ එක්වීමෙන් මිහිරි අඹ ඵල හටගත් ගස්වල තිත්ත අඹ හටගන්නා වගේ යැයි බුදුහු වදාළා.

ස්වාමීනී! එසේ හටගත්තේ කොහේදැයි වදාළ මැනවි ඒ භික්ෂූන් ඉල්ලා සිටියා. එවිට බුදුහු මෙම කතාව වදාළා.

යටගිය දවස බරණැස් නුවර සහෝදරයන් සතර දෙනෙක් උන්නා. ඔවුන්ට ගිහිගෙය කලකිරුණා. හිමාලයට ගොස් පැවිදි වුණා. පන්සල් හදාගෙන තවුස්දම් රැක්කා. කලක් ගෙවුණා. වැඩිමහල් තවුසා මිය ගියා. සක්දෙවියන් වුණා. මේ සක්දෙවියා බැලුවා තමා කෙහේ සිටද ආවේ කියා. එවිට පෙනුණා හිමාලයේ තපස් රැකීමෙන් බවත් සිය සහෝදරයන් තවම තවුස් දම් පුරන බවත්.

සක්දෙවියා මනු ලොවට ආවා. ඒ තුන්දෙනාගෙන් වැඩිමලා ළඟට ගියා. ඔබට තපස් රැකීමට තිබෙන අපහසුව කුමක්ද? ඇසුවා.

මම ඉන්නේ පාණ්ඩු රෝගය හැදිලා. ඒ නිසා නිතර ගිනිතපින්න ඕනෑ. ඊට උපකාර වන්න.

සක්දෙවියා වාසි “එලසුවය” නම් ආයුධයක් දුන්නා. එය එක පැත්තකට පෙරළු විට පොරොවක්.

තවුසා එය අතට ගත්තා. පෙරළුවා. එය පොරොවක් වුණා. මට මේ පොරොව අරගෙන දර කපන්න යන්න බෑ. මම දුබලයි. තවුසා කිව්වා.
නෑ. ඔබ යන්න ඕනෑ නෑ. පොරොව අතගා දර කපාගෙන එන්න කියන්න. එවිට පොරොව දර කපාගෙන විත් ගිනි මොලවනවා. සක්දෙවියා කිව්වා.
තවුසා එය සතුටින් භාරගත්තා.

සක්දෙවි දෙවැනි තවුසා ළඟට ගියා. ඔබට මේ වනයේ සිදුවන අපහසුකම් මොනවද ඇසුවා.

මට තියෙන ලොකුම කරදරය තමයි මේ වනයේ ඉන්න ඇත් රංචුව. උන් නිතර මෙහේ එනවා. පන්සල කඩනවා. තවුසා කිව්වා.
සක්දෙවි ඒ තවුසාට බෙරයක් දුන්නා.

මේකෙන් කොහොමද ඇත්තු එළවන්නේ තවුසා ඇසුවා. 

ඔය බෙරයේ එක් ඇසකට ගහන්න. එවිට සිවුරඟ සේනාව වුණත් විසිරී දුවනවා. අනෙක් ඇසට ගැහුවාම ඒ සේනාව පමණක් නොවේ ඔබට එරෙහි එන කවුරු වුණත් මිතුරු වෙනවා කිව්වා.

ඒ තවුසා බොහොම සන්තෝසයෙන් බෙරය ගත්තා.

ඊළඟට සක්දෙවි බාල තවුසා ළඟට ගියා. ඔබට මෙහි තිබෙන අවහිරතා මොනවාද? ඇසුවා.

මම පාණ්ඩු රෝගයෙන් දුක් විඳිනවා. ඒ හින්දා මට නිතර වතුර ඕනෑ. වතුර ගේන්න දුරයන්න ඕනෑ. එබැවින් මට එය පහසු කරදෙන්න. තවුසා ඉල්ලුවා.

සක් දෙවියෝ තවුසාට කළයක් දුන්නා.

ඔබ කළයක් දුන්නාට මම ඒක අරන් ඈත යන්න එපායෑ වතුර ගේන්න. මට ඕක එපා. තවුසා කිව්වා. 

ඔබ දුරයන්න ඕනේ නෑ. කළය තැනක තබා නවන්න. එවිට එතැන ගංගාවක් හැදෙයි. ඉන් ඔබට ඇති තරම් වතුර ගන්න. ඊට පසු කළය ආපසු හරවන්න. ගඟ නැතිව යයි. සක්දෙවියෝ විස්තර කර දුන්නා.

තවුසා ප්‍රීතියට පත්වුණා. කළය අරගත්තා. සක් දෙවියෝ ආපසු දෙව්ලොව බලාගියා.

මේ අතර වනයේ උන් ඌරෙක් අල හාරමින් උන්නා. ඌට මැණිකක් හමුවුණා. එය අරගත්තා. ඌරා අහසේ පාවුණා. මැණිකේ ආනුභාවය ඌරාට තේරුණා. ඌරා අහසින් මුහුද මැද දිවයිනකට ගියා. පහළට බැස්සා. එතැන දිඹුල් ගහක් තිබුණා. ඌරා ඒ ගස යටට වී විඩා ඇරියා. ඌරාට ඒ ගස යටම නින්ද ගියා. සෑහෙන වෙලාවක් සනීපෙට නිදාගත්තා.

මුහුදේ යාත්‍රාවකින් ගමන් ගත් මිනිසෙක් උන්නා. ඔහුගේ යාත්‍රාව ගලක හැපී බිඳුණා. ඒ මේ දිවයිනට නුදුරින්. මේ මිනිසා යාත්‍රාවේ ලෑල්ලක් බදාගෙන දිවයිනට පීනුවා. ගොඩබැස්සා. දිවයිනේ එහෙට මෙහෙට ඇවිද්දා. නිදාසිටි ඌරා දැක්කා. ළඟට හෙමින් ගියා. ඌ ගොරව ගොරවා නිදි. ඌ ළඟ තිබුණු මැණික මිනිසා දුටුවා. ඒ මැණික ගත්තා. අහසේ පියාඹන්න වුණා. ඔහු දිවුල් ගසට බැස්සා. අත්තක් කඩා ගත්තා. ඌරාට දමා ගැසුවා. ඌරා ඇහැරුණා. මැණික තිබ්බ තැන නෑ. කලබල වුණා.
මොනවද හොයන්නේ ගස උඩ මිනිසා ඇසුවා. ඌරා උඩ බැලුවා. මගේ මැණික මෙතැන තැබුවා ඒකයි බැලුවේ. ඌරා කිව්වා. ආ මේකද කියා මිනිසා පෙන්නුවා. ඔව් ඕක තමයි ඌරා කිව්වා. ඕක මට දෙන්න. ඌ ඉල්ලුවා. ඒක ඔබෙන් ගත්තේ දෙන්න නොවේ. යැයි මිනිසා කිව්වා. ඌරා කෝප වුණා. මම දිඹුල් ගස පෙරළලා ඔබ විනාශ කරනවා කියා වේගෙන් දිඹුල්ගසට ඇන්නා. ගස සවිමත් නිසා ඌරාගේ ඔළුව පැලුණා. මිය ගියා.

මැණික බලයෙන් ඔහු අහසින් ගොස් හිමාලයට බැස්සා. වැඩිහිටි තවුසා දැක්කා. ඔහු ඒ පන්සලට ගියා. පොරොවෙන් කප්පවා ගිනි අවුලවන හැටි දුටුවා. ඒ “වාසිඵල සුවයට”හිත ගියා. ඔහු මැණික ගෙන අහසට නැග්ගා. එය දුටු තවුසාට මැණික ගැන ආශා හිතුණා. ඒ බව දුටු මේ මිනිසා ඒ ආයුධයට මැණික මාරු කළා. එළියට බැස ටික දුරක් ගියා. වාසිඵල සුවය යවා තවුසාගේ හිස ගෙන්වා ගත්තා. පසුව ගොස් මැණික ගත්තා. එසේ අනෙක් තවුසන් දෙන්නාත් රවටා බෙරයත්, කළයත් ගත්තා. පසුව අහසින් බරණැසට ගියා. රජ මාළිගයට නුදුරින් බිමට බැස්සා. මට රජකම ඕනෑ. යැයි ඉල්ලා සිටියා. රජතුමා පුදුම වුණා. රාජපුරැෂයන් යැව්වා ඔහු අල්ලාගෙන එන්න. ඔහු බෙරය ගසා ඔවුන් මිතුරන් කර ගත්තා. රජතුමා සිව්රඟ සේනාව යැව්වා ඔහු අල්ලන්න. බෙරය වයා ඒ අයත් මිතුරන් කරගත්තා. පසුව “වාසිඵල සුවය” යවා රජතුමාගේ හිස ගෙන්වා ගත්තා. ඉන්පසු ඔහු දධිවාහන නමින් රජවුණා. 

මේ රජතුමා දිනක් ගඟක නාමින් උන්නා. හිමාල කන්දේ තිබූ දුර්ලබ අඹ ගසක ගෙඩියක් දියේ පාවෙලා ආවා. එය රජතුමාගේ ඇඟේ ගැටුණා. එතුමා එය අරගෙන කෑවා. මීපැණි මෙන් රසයක් දැනුණා. රජතුමා ඒ අඹ ඇටය රාජකීය උයනේ පැළ කළා. පොහොර දිය හොඳින් දැම්මෙව්වා. ඉක්මණින් පීදී පල හටගත්තා. ඒ අඹත් ඉතා මිහිරි වුණා. රජතුමා ඒ අඹ අසල් රාජ්‍යවල රජවරුන්ට යවන්න හිතුවා. එහෙත් පසුව කල්පනා වුණා. ඒ අයත් මේ අඹ පැළකරගත්තොත් කියාලා යැව්වේ නෑ.
එක් රජකෙනෙක් මේ අඹ ගස දැනගත්තා. එතුමා හිතුවා මේ ගස විනාශ කරන්න. අකලට ගස්වල පල උපදවන්න දක්ෂ උයන් පල්ලෙක් උන්නා. ඒ රජතුමා ඔහු ගෙන්වාගෙන කිව්වා. දධිවාහන රජ වෙත යන්න. අකලට පල උපද්දවන්න පුළුවන් කියන්න. එවිට ඔබ රාජකීය උයන්පල්ලා කරයි. එසේ කළ පසුව අර රසවත් අඹ ගසේ අඹ තිත්ත කරවන්න. ඒ උයන්පල්ලා වගකීම බාරගත්තා. දධිවාහන රජතුමා හමුවුණා. හපන්කම් කිව්වා. එතුමා පැහැදුණා. රාජකීය උයන ඔහුට පැවැරැවා. මේ උයන් පල්ලා අගුලවැල් සහ කොහොඹ පැළ අඹ ගහ වටේ යැව්වා. පසුව අඹ ගහේ පල ඉපැද්දෙව්වා. ඒ අඹ කටේ තියන්න බෑ තිත්ත. ඔහු එනුවරින් පැන ගියා. රජතුමාට කරගන්න දෙයක් නැතිව ගියා. එනුවර උන්නා නැණවත් පුරෝහිතයෙක්. ඔහුට රජතුමා අඹ තිත්ත වීම ගැන කිව්වා. ඊට විසඳුමක් ඇසුවා. පුරෝහිත අඹ ගස බැලුවා. තිත්ත වෙන්න හේතු දැනගත්තා. අගුලවැල් කොහොඹ ගස් මුලින් උදුරා දැම්මෙව්වා. ඊට පසු හටගත් අඹ පෙරපරිදි රසවත් වුණා. බුදුහු වදාළා. 

දධිවාහන ජාතකය ඇසුරින්
බී.පී.කේ. තිලක