2019 ජනවාරි 05 වන සෙනසුරාදා

ශ්‍රී ලංකාව යළිත් පසුපස පාදයට

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 71

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් පිල පසුගිය බදදා නවසීලන්තයට එරෙහිව සහභාගි වූ පළමු එක්දින ක‍්‍රිකට් තරගයෙන් පරාජයට පත්විය.  ටෙස්ට් තරගාවලියේ පරාජයෙන් පසුව ශ්‍රී ලංකාව ගෞරවය රැකගැනීමට නම් මෙම එක්දින තරගාවලියේදී පෙරළියක් කළ යුතු වුවද එවැනි පෙරළියකට ශ්‍රී ලංකා පිල ඉතිරි තරග දෙකම ජය ලැබීම අනිවාර්යය වේ.

ශ්‍රී ලංකාව එම තරගයෙන් ලකුණු 45 ක පරාජයක් ලැබීය. එහිදී නවසීලන්ත පිල ලකුණු 371 ක් රැස් කළ අතර එහිදී තිසර පෙරේරා යැවූ ඉනිමේ 49 වැනි  ඕවරයට ජේම්ස් නිෂාම් හයේ පහර පහක් සමඟින් ලකුණු 34 ක් රැස්කිරීම කැපී පෙනුණි. කෙසේ වෙතත් මෙම තරගයේදී නායක මාලිංග දරුණු ප‍්‍රහාරයකට ලක්විය. එහිදී මාලිංග යැවූ ඕවර 10 ට නවසීලන්ත පිතිකරුවෝ ලකුණු 78 ක් ලබාගැනීමට සමත් වූහ.

තිසර පෙරේරා යැවූ  ඕවර 10 ට ද ලකුණු 80 ක් නවසීලන්තයට එකතු විය. ලෝකය පුරා ලීග් තරගාවලිවලට සහභාගි වන තිසර පෙරේරා ඉතාමත් තීරණාත්මක පන්දු හයක් ආරක්‍ෂා කරගැනීමට අපහොසත්වීම පිළිබඳව ලැජ්ජා විය යුතුය.  
ඕවර සංඛ්‍යාව නියමිත වේලාවට සම්පූර්ණ නොකිරීම හේතුවෙන් මාලිංගට තරග මුදලින් 20% ක දඩයක් පැනවීමට ද තරග තීරකවරයා පියවර ගත්තේය.

මෙම තරගයට අසේල ගුණරත්න සහ සීකුගේ ප‍්‍රසන්න ක‍්‍රීඩා කළ ද සාර්ථකත්වයට  පත්නොවූහ. 

සාර්ථක පිතිකරු දසුන් ශානක එළියෙන් තබා මෙහිදී අසේල ගුණරත්නට අවස්ථාව ලබාදීම ‘අටුව කඩා පුටුව තැනීම’ වැනි තීරණයකි. දසුන් පසුගිය කාලය පුරාම සාර්ථකව සිටි පිතිකරුවෙක් වන අතර අසේල ගුණරත්න ඉන්දීය නැගී එන පිලට එරෙහිව ද අමාරුවෙන් ලකුණු රැස්කළ පිකිරුවෙකි.

අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුව පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවා වන ඇන්ජලෝ මැතිව්ස් නැවත එක්දින පිලට කැඳවුව ද ක‍්‍රයිස්ට්චර්ච් ටෙස්ට් තරගයේදී නැවත පාදයේ ආබාධයකට ලක්වීමෙන් තරගාවලිය අහිමි විය. ලසිත් මාලිංග එක්දින කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස පත්ව සහභාගි වන පළමු තරගාවලිය මෙය වීම නිසා ඔහුට වඩාත් වැදගත් වී තිබේ.

‘‘කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයා මමයි. ලෝක කුසලාන තරගාවලිය දක්වා මට නායකත්වය දෙන්න. මම කරලා පෙන්නන්නම්’’ යැයි මාලිංග ක‍්‍රීඩා බලධාරීන්ට පවසා තිබූ බව ද දැනගන්නට තිබේ. එය එසේ නම් තම හැකියාව මාලිංග ප‍්‍රදර්ශනය කළ යුතුය.  මාලිංග එක්දින පිල සිය හිතවතුන්ට සහ එහෙයියන්ට සැළකීමට අවස්ථාවක් කරගත හොත් ප‍්‍රතිඵලය දරුණු විය හැකිය.

ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමේ සිටින විට දිනේෂ් චන්දිමාල්ට ස්ථානයක් ලබාදීමේ ප‍්‍රශ්නයක් තේරීම් කමිටුවට පැන නැගී තිබුණි. ඒ හේතුවෙන් නිත්‍ය ස්ථානයක් ඇති මාලිංගට නායකත්වය පැවරුව තේරීම් කමිටු සාමාජිකයෙක් ‘දේශය’ට පැවසීය.  ‘‘කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් තියෙන කෙනෙක් නායකයා වෙන්න ඕනේ. මැතිව්ස් සහ ධනුෂ්ක වැනි ක‍්‍රීඩකයන් සංචිතයට ආවම චන්දිමාල් පිළිබඳව ප‍්‍රශ්නයක් තිබුණා. ඒ නිසයි මාලිංගට නායකත්ව පැවරුවේ’’ 
‘‘මෙම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අපි රැකගත්තා. දෙවැනි තරගයේ සිවුවැනි දිනයේදී මෙන්ඩිස්ගේ දැවීයෑමත්, මැතිව්ස් ආබාධයකට ලක්වීමත් අපිට පාඩුවක් වුණා. නවසීලන්ත පන්දු යවන්නන් දැනගත්තා මැතිව්ස් ආබාධයට ලක්වුණාම පාලනය කරන්න පුළුවන් කියලා. ඒ සමඟ ඔවුන් පීඩනය වැඩි කළා’’ යැයි තේරීම් කමිටු නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

ක‍්‍රයිස්ට්චර්ච්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය ලකුණු 423 ක දැවැන්ත ජයක් ලබා 1x0 ක් ලෙස තරගාවලියේ ජය හිමිකරගත්තේය. 

සටහන: යොහාන් භාසුර

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00