2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

ශ්‍රී ලංකාව දැවැන්ත පරාජයක් ළඟ...

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 74

නවසීලන්තයට එරෙහිව ක‍්‍රයිස්ට්චර්ච්හිදී පසුගිය බදාදා ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ පසුගිය සිකුරාදා ක‍්‍රීඩාව අවසන් කරන විට ශ්‍රී ලංකා පිල දැඩි අසීරු ප‍්‍රපාතයකට වැටී සිටියේය. මෙම තරගයෙන් ජය ලැබීමට නම් ශ්‍රී ලංකාව ලකුණු 660 ක අති දැවැන්ත ඉලක්කයක් සම්පූර්ණ කළ යුතු විය. තෙවැනි දිනය අවසන් වනවිට ශ්‍රී ලංකා පිලේ කඩුලු දෙකක් ලකුණු 24 කට බිඳ වැටී තිබුණි. 

මෙම තරගය විසඳුමකින් තොරව අවසන් කිරීමට නම් පළමු තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් පැවැත්වූවා වැනි සම්බන්ධතා දෙකක්වත් අවශ්‍යව තිබේ. නවසීලන්ත පිල දෙවැනි ඉනිමේදී ලකුණු 585 රැස්කිරීමෙන් මෙම ප‍්‍රබල තත්ත්වයට ඒමට මඟ පෑදුණි. එහිදී ටොම් ලෙතම් (176) සහ හෙරිද්‍රි නිකොල්ස් (නොදැවී 162) රැස්කළ ශතක කැපී පෙනුණි. 

ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේදී ලකුණු 104 ක දැවී නොගොස් ලකුණු 100 ක පමණ වාසියක් ලබාගත්තේ නම් තරගයේ තත්ත්වය මීට වඩා වෙනස්වීමට ඉඩ තිබුණි. තරගයේ පළමු දිනය වූ බදාදා දිනයේ ක‍්‍රීඩාව අවසන් කරන විට ශ්‍රී ලංකා පිල නවසීලන්ත පළමු ඉනිම ලකුණු 178කට සීමා කරමින් තරගයේ පාලනයට නතු කරගැනීමට සමත්ව සිටියේය.

ශ්‍රී ලංකා පිල පළමු දිනය අවසන් වනවිට කඩුලු හතරක් දැවී ලකුණු 88 ක් රැස්කර තවත් ලකුණු 90ක් පසු පසින් සිටියේය. ඒ වනවිට ඇන්ජලෝ මැතිව්ස් සහ රොෂේන් සිල්වා පන්දුවට පහර දෙමින් සිටියහ. කෙසේ වෙතත් දෙවැනි දිනයේ පෙරවරුවේ ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු හය ලකුණු 10ක් තුළ බිඳ වැටීමෙන් තරගයේ වාසිය සම්පූර්ණයෙන්ම නවසීලන්තයට හිමිවිය. ශ්‍රී ලංකා ඉදිරි පෙළ පිතිකරුවන් වන ධනුෂ්ක ගුණතිලක, දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 21ක් තුළ දැවී නොගියේ නම් මීට වඩා හොඳින් හිස එසවීමේ අවස්ථාව තිබුණි. කුසල් මෙන්ඩිස් සිවුවැනි කඩුල්ල ලෙස දවා ගැනීම නවසීලන්තය ලැබූ තවත් ජයග‍්‍රහණයකි. 

පළමු තරගය විසඳුමකින් තොරව අවසන් වී තිබීමත් නවසීලන්ත පළමු ඉනිම ලකුණු 178 කට සීමාවීමත් තුළ ශ්‍රී ලංකාවට ටෙස්ට් තරගාවලියේ ජයග‍්‍රහණය සඳහා යෑමට තිබූ අවස්ථාව අහිමිවිය. නායක දිනේෂ් චන්දිමාල් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර එහිදී සුරංග ලක්මාල් සහ ළහිරු කුමාර ක‍්‍රියාත්මක වෙමින් නවසීලන්ත පිලේ පළමු කඩුලු හය ලකුණු 64 ක් තුළ ලබාගැනීමට සමත් වූහ. බී.ජේ. වෙට්ලිං සහ ටිම් සවුති අතර හත්වැනි කඩුල්ලට ගොඩනැගුණු ලකුණු 108ක සම්බන්ධතාවක නොවන්නට නවසීලන්තයට ලකුණු 100 ක් රැස්කිරීම අපහසුවීමට ඉඩ තිබුණි. නවසීලන්ත අංක අට පිතිකරු වේගපන්දු යවන ක‍්‍රීඩක ටිම් සවුති පන්දු 65 කින් රැස්කළ ලකුණු 68 ඇතැම් විට මෙම තරගයේ තීරණාත්මක සාධකයක් විය හැකිය. සවුතිගේ ඉනිමට හයේ පහර හයක් සහ හතරේ පහර තුනක් ඇතුළත් විය. සුරංග ලක්මාල් කඩුලු පහක් දවාගත් අතර ළහිරු කුමාර කඩුලු තුනක් දවාගත්තේය. 

මෙහිදී හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඕවර හතරක් යැවීම කැපී පෙනුණි. මෙය මැතිව්ස් සිය ශාරීරික යෝග්‍යතාව ප‍්‍රදර්ශනය කිරීමට ගත් පියවරක් වේ. එය එසේ වුවද මැතිව්ස් පිතිකරුවකු ලෙස ආරක්‍ෂා කරගැනීමට වඩාත් වැදගත් බව අමතක නොකළ යුතුය. එහි වගකීම ඇත්තේ කණ්ඩායම් කළමනාකාරිත්වයටය. මැතිව්ස් සහ කළමනාකාරිත්වය අතර ගැටුමක් ඇති බව ප‍්‍රසිද්ධ රහසකි. ඒ හේතුවෙන් මැතිව්ස් හෝ තමන්ව පරිස්සම් කරගත යුතුය. 

I සටහන: යොහාන් භාසුර