2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

හරීන්ගේ ඩුබායි සංචාරය ක්‍රිකට් අනාගතය වෙනස් කරයිද?

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 74

"නිලවරණය කල්දානවද කියලා හරියටම කියන්න බෑ. අතුරු කමිටුවක් කොහොමත් එන්න ඉඩ තියෙනවා. ශ්‍රී ලංකාවම පිළිගන්න කෙනෙක් තමයි අතුරු කමිටුවේ පාලනයට ගේන්නේ. ඔහු අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේත් (අයි.සී.සී.) පිළිගැනීම තියෙන කෙනෙක්” නව ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පළමු මාධ්‍ය හමුවේදී පැවසීය.

"මම ලබන 26 හෝ 27 අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මුණගැසෙන්න බලාපොරොත්තු වෙනවා. හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා නිලවරණය පැවැත්වීමට පෙබරවාරි 9 දක්වා කාලය ලබාගෙන තිබුණා. ක‍්‍රිකට් දූෂණයෙන් තොර තැනක් කරන්න තව ටික කාලයක් ලබාගන්න ඕනේ” යැයිද ක‍්‍රීඩා ඇමතිවරයා තවදුරටත් පැවසීය.

මෙම ප‍්‍රකාශයත් සමඟ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන පෙබරවාරි මස 07 වැනිදා පැවැත්වීම දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ. නව ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා නිලවරණය කල්දමා ක‍්‍රිකට් පරිපාලනයට අතුරු කමිටුවක් පත්කර ක‍්‍රිකට් ක‍්‍රීඩාව පිරිසිදු කිරීමට සූදානම් වන බව එම ප‍්‍රකාශයෙන් කියවේ. 

"අපේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට විශාල චෝදනා එල්ලවෙලා තියෙනවා. ක‍්‍රිකට්වල මුල්තැනටම දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා. එය හැකිතරම් ඉක්මනට පිරිසිදු කරන්න බලාපොරොත්තු වෙනවා” යැයි ක‍්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී ක‍්‍රීඩා අමාත්‍යවරයා අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේත් පිළිගත් කෙනෙකු අතුරු කමිටුවට පත්කළ යුතු බව පැවසුවේ අතුරු කමිටු සභාපති ධූරයට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ තරග තීරක කමිටුවේ වසර 15ක් පමණ කටයුතු කළ කීර්තිමත් නිලධාරියකු මෙන්ම ශ්‍රී ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරුවකු වන රොෂාන් මහානාම මහතා පත්කිරීමේ අදහසිනි. අමාත්‍යවරයා වැඩ බාරගත් දින පස්වරුවේ රොෂාන් මහානාම මහතා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කළ අතර එහිදීද දැනට පවතින ආකාරයට අතුරු කමිටු සභාපති ධූරය බාරගැනීම මහානාම මහතා ප‍්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. එහිදී මහානාම මහතා පවසා ඇත්තේ වර්තමාන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව ගොඩගැනීම මාසයකින් දෙකකින් කළ නොහැකි බවයි. මේ සඳහා අවම වශයෙන් වසර දෙකක පමණ කාලයක් අවශ්‍ය බව ඒ මහතා ක‍්‍රීඩා අමාත්‍යවරයාට පවසා ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවේ වෙනස්කම් කිරීමකින් තොරව ශ්‍රී ලංකා ක‍්‍රිකට් යථා තත්ත්වයට පත්කළ නොහැකි බවද මහානාම මහතා අවධාරණය කර ඇති බවද දැනගන්නට තිබේ.

වසර තුනක කාලයක් තුළ පත්වූ තෙවැනි ක‍්‍රීඩා අමාත්‍යවයා වන හරීන් ප‍්‍රනාන්දු මහතාද පසුගිය සතියේ ඩුබායිහිදී අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නිලධාරීන් මුණගැසීමට සූදානමින් සිටියේය. මෙම හමුවට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ කිසිදු ප‍්‍රධාන නිලධාරියකු සහභාගි නොවන බවත් මෙය ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ පෞද්ගලික සංචාරයක් අතරතුර සිදුවන හමුවීමක් බවත් වාර්තා වේ.

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව තවත් ක‍්‍රීඩා ඇමතිවරයකුට කාලය ලබාදෙන්නේද යන්න සැකසහිතය. අන්තර්ජාතික ක‍්‍රිකට් සභා රැස්වීම්වලදී මේ වනවිටත් ශ්‍රී ලංකාව නරඹන්නකු බවට පත්ව සිටින අතර ඡන්දය ප‍්‍රකාශ කිරිමේ අයිතියද අහිමිවී තිබේ. කෙසේ වෙතත් ක‍්‍රිකට් නිලවරණය කමිටුව නිලවරණයට සම්බන්ධ කටයුතු ක‍්‍රියාත්මක කරමින් සිටියි.

නිලවරණය සඳහා ඉදිරිපත්ව ඇති නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත්කිරීමේ කාලය හෙට (31) අවසන් වේ.

එම විරෝධතා සම්බන්ධයෙන්ද නිලවරණ කමිටුව ඡන්ද හිමි නාමලේඛනය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරයෙන් කටයුතු කළහොත් තත්ත්වය බරපතල විය හැකිය. එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් නිලවරණය නැවත අධිකරණයට යෑමට ඉඩ ඇති අතර එසේ වුවහොත් නිලවරණය කල්යෑම වැළැක්විය නොහැක. නිලවරණයට සභාපති ධූරයට ඉදිරිපත්ව සිටින ජයන්ත ධර්මදාස මහතා මේ වනවිටත් ‘රණතුංග’ සහ ‘සුමතිපාල’ යන පාර්ශව දෙක සමඟ සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ. එම තත්ත්වය අනුව ‘රණතුංග’ පාර්ශවය තුළ යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී තිබූ බවද වාර්තා විය. මෙම පාර්ශව දෙකටම හැකි ඉක්මනින් නිලවරණය පැවැත්වීමේ උවමනාවක් ඇති අතර ‘සුමතිපාල’ පාර්ශවය එහිදී වැඩි උනන්දුවකින් පසුවෙයි. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය මේ වනවිට පවතින තත්ත්වය දෙස බැලීමේදී ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතය වඩාත් අවිනිශ්චිත වී තිබේ. පෙබරවාරි මස 9 වැනිදාට පෙර ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය පවත්වා නිලධාරීන් පත්කරගත නොගතහොත් ශ්‍රී ලංකාව තම සාමාජිකත්වය තාවකාලිකව තහනම් වීමේ අවදානමක පසුවෙයි.

I වරකාගොඩ ගමගේ