2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

කාලිංගගේ තහනම් උත්තේජක වැඩේ නිලධාරියෙක් යට ගහන්න හදලා!

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 66

ශ්‍රී ලංකා මීටර 400 ශූරයකු වන කාලිංග කුමාරගේ තහනම් උත්තේජක ලබාගෙන ඇති බවට ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනය (වාඩා) ශ්‍රී ලංකාවට දැනුම් දී තිබුණ ද එය සැඟවීමට ශ්‍රී ලංකා මළල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ උසස් තනතුරක් දරණ නිලධාරියකු කළ උත්සාහයක් ව්‍යාර්ථ වූ බව කතාබහට ලක්වේ.

ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත‍්‍රික බලකාය නියෝජනය කරන කාලිංග කුමාරගේ පසුගියදා ඉන්දුනීසියාවේදී පැවැති ආසියානු ක‍්‍රීඩා උළෙලේදී මීටර 400 ඉසව්වේ අටවැනි ස්ථානය හිමිකරගත් ක‍්‍රීඩකයා වේ.

කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පසුගිය ඔක්තෝබර් මස පැවැති ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක‍්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනයේදී ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ ආයතනයේ නිලධාරීන් මෙම ක‍්‍රීඩකයා ඇතුළු ක‍්‍රීඩකයන් සිව්දෙනකුගේ මුත‍්‍රා නියැදි ලබාගැනීමට කටයුතු කර තිබේ. 

කාලිංග කුමාරගේ එම ක‍්‍රීඩා උළෙලේ පළමු දිනයේදී දැක්වූ දස්කම් පිළිබඳව සැක සිතූ පිරිසක් ඒ පිළිබඳව ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ ආයතනයේ ප‍්‍රධාන වෛද්‍යවරයකු දැනුවත් කිරීමෙන් පසුව මෙම පරීක්‍ෂාවට මඟ පෑදුණු බව දැනගන්නට තිබේ.

එම ක‍්‍රීඩා උළෙලේදී කාලිංග මීටර 200 සහ මීටර 400 ඉසව්වේ දෙවැනි ස්ථානයත්, ඊට අමතරව ඔහු සහභාගී වූ සහාය දිවීමේ ඉසව්වලදී විදුලි හා යාන්ත‍්‍රික බලකා කණ්ඩායම් පළමු ස්ථානත් දිනාගෙන තිබේ. 

මෙම තත්ත්වය හමුවේ කාලිංග සම්බන්ධයෙන් ඔහු කැඳවා විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට නියමිතව තිබූ අතර ඒ අනුව ඔහුට තාවකාලික තරග තහනමක් පැනවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය. 

කාලිංග ‘බී’ මුත‍්‍රා සාම්පල් පරීක්‍ෂාවට සූදානම් බව ඔහුගේ තහනම් උත්තේජක සිද්ධිය යට ගැසීමට උත්සාහ ගත්තේ යැයි කියන නිලධාරියා පවසා ඇති බවද වාර්තා වේ. 

කාලිංගගේ ‘බී’ මුත‍්‍රා සාම්පල් පරීක්‍ෂාවෙන් ද ඔහුගේ ශරීරයේ තහනම් උත්තේජක අඩංගුව තිබූ බවට සනාථ වුවහොත් අන්තර්ජාතික මළල ක‍්‍රීඩා සංගමය ඔහුට තහනමක් පැනවීමට ඉඩ ඇත. 

ඇතැම් නිලධාරීන්ගේ නොමනා ක‍්‍රියා කලාපය නිසා ශ්‍රී ලංකාවට පදක්කම් ගෙන ඒමේ හැකියාව ඇති ක‍්‍රීඩකයන් වරදට පෙළඹෙන බව ද මළල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ ඇතැම් ප‍්‍රවීණයෝ පවසති. 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00