2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

නවසීලන්ත තරග ලොකු අභියෝගයක්

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 52

නවසීලන්තයට එරෙහිව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ වෙලින්ටන්හිදී ආරම්භ වීමට නියමිතව තිබූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම් අභ්‍යන්තරයේ ‘අළු යට ගිනි’ තත්ත්වයක පවතින බව ඇතැම් සිදුවීම් සමඟ පැහැදිලිය. ඕස්ටේ‍්‍රලියානු ජාතික ස්ටීව් රික්සන් පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කණ්ඩායමට පැමිණීමද අර්බුදයේ ප‍්‍රතිඵලයක් බව දැනගන්නට තිබේ. 

මෙම සුදු ජාතික පන්දු රැකීමේ පුහුණුකරුගේ ආගමනයද තමන් මහාකෙරුමකු යැයි පවසමින් කණ්ඩායමට පැමිණි නිලධාරියා ඔහුට හිතවත් කාර්ය මණ්ඩලයක් නිර්මාණය කරගැනීමේ මෙහෙයුමේ තවත් පියවරක් බව තතු දන්නෝ පවසති. අදාළ නිලධාරියා පැමිණීමෙන් පසුව මීට පෙර කළමනාකරුවන් දෙදෙනකුව ඉවත් කිරීමට පරිසරය සකස් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුදු ජාතික නිලධාරියකුද සම්බන්ධ කරමින් වෙනත් කට කථාවක් ද සාමාජ මාධ්‍ය ජාලවල පසුගිය සතිය පුරා පැතිර ගියේය.

පළමු ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා පිලේ ආරම්භ පිතිකරුවකු පිළිබඳව ගැටලුවක් නිර්මාණය වී තිබූ බව වාර්තා විය. ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ උපනායක දිමුත් කරුණාරත්න, නේපියර්හිදී පැවැති පුහුණු තුන්දින තරගයේදී සඟවා තබමින් එක එල්ලේම ටෙස්ට් තරගයට ගෙන ඒමේ සැළැස්මක් ශ්‍රී ලංකාව ක‍්‍රියාත්මක කළේය. දිමුත් කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ආරම්භක පිතිකරු වන අතර ඔහු ආරක්‍ෂා කරගැනීමේ පියවරක් අනුගමනය කිරීමේ වරදක් කිව නොහැක.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ තුන්දින තරගයෙන් දිමුත් විවේක ගැන්වූ බවයි. පුහුණු තරගයේ ඉනිම දෙකේදීම ධනුෂ්ක ගුණතිලක සහ ළහිරු තිරිමාන්න ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළහ. පළමු ඉනිමේදී දෙදෙනාම අසාර්ථක වූහ.

ධනුෂ්ක දෙවැනි ඉනිමේදී පන්දු 77 කින් ලකුණු 83 ක් රුස්කරමින් ලකුණු අතරට පැමිණියේය. එහිදී තිරිමාන්න පන්දු 83 කින් ලකුණු 45 ක් රැස්කරමින් දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. වර්තමාන ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනස්ය. ටෙස්ට් තරගයක දිනයක් තුළ ලකුණු 300 ක් රැස්කිරීම දැන් සාමාන්‍ය තත්ත්වයකි. පිතිකරුවකු කඩුල්ලේ රැඳී සිටිනවාක් මෙන්ම ලකුණු පුවරුවට ලකුණු එකතු වීමද වැදගත්ය. එංගලන්තයට එරෙහිව එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති අවසන් ටෙස්ට් තරගයේදීද දිමුත්ගේ සගයා බවට ධනුෂ්ක පත්විය. එයත් හේතුවක් බවට පත්වෙමින් ධනුෂ්ක ආරම්භකට පිතිකරු ස්ථානය ලැබීමට ඇති ඉඩකඩ වැඩිය.

ළහිරු තිරිමාන්න කණ්ඩායමට පැමිණීමත් සමඟ ධනංජය ද සිල්වාට අංක තුන ස්ථානය අහිමිවීමේ අවදානමක් මතුවී තිබේ. ධනංජය පුහුණු තරගයේ පළමු ඉනිමේදී අංක හය ස්ථානයේ පන්දුවට පහර දුන් අතර දෙවැනි ඉනිමේදී නැවතත් අංක තුනට පැමිණියේය. තිරිමාන්න අංක තුනට පැමිණියහොත් ඇතැම් විට ධනංජයට කණ්ඩායමේ ස්ථානය අහිමිවීමට ඉඩ තිබේ.

නායක දිනේෂ් චන්දිමාල්ටද ස්ථානයක් වෙන්කළ යුතුව තිබේ. එසේ නම් දික්වැල්ලට ස්ථානයක් වෙන් කළ නොහැක. චන්දිමාල්, නවසීලන්තය බලා පිටත්ව යෑමට පෙර පැවසුවේ තමන් කඩුලු රකින්නා ලෙස ක‍්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවයි. චන්දිමාල් අංක පහ ස්ථානයේ රැඳෙනු ඇත.

පසුගිය කාලය පුරාම අවදානයට සහ විවේචනයට ලක්වූ කුසල් මෙන්ඩිස් පුහුණු තරගයේ දෙවැනි ඉනිමේදී රැස්කළ ලකුණු 72 ඔහුට කණ්ඩාමේ අංක හතර වෙන්කර ගැනීමට ප‍්‍රමාණවත් වනු ඇති බවට විශ්වාස කළ හැකිය. 
ශ්‍රී ලංකාව මෙම තරගයේදී වේගපන්දු යවන්නන් තිදෙනකු සමඟ ක‍්‍රීඩා කරනවාද නැත්නම් දඟපන්දු යවන්නන් දෙදෙනකු සහ වේගපන්දු යවන්නන් දෙදෙනකු සමඟ ක‍්‍රීඩා කරනවාද යන්න මෙම සටහන තබන මෙහොත දක්වා තීරණය කර නොතිබුණි. වෙලින්ටන් තණනීරුවේ දඟපන්දු යවන්නන් දෙදෙනකුට කළ හැකි දෙයක් වේදැයි සැක සහිතය. ඒ හේතුවෙන් ජ්‍යෙෂ්ඨ දඟපන්දු යවන්නා වන ඩිල්රුවන් පෙරේරා පමණක් ක‍්‍රීඩා කිරීමට බොහෝදුරට ඉඩ තිබේ. 

සුරංග ලක්මාල්, නුවන් ප‍්‍රදීප්, කසුන් රාජිත, ළහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර යන වේග පන්දු යවන්නන් පස්දෙනා සංචිතයේ සිටින අතර සුරංග, නුවන් සහ ළහිරු මෙම තරගයට ක‍්‍රීඩා කිරීමට ඉඩ තිබේ. 

I සටහන: යොහාන් භාසුර