2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

දේශපාලන අවුලෙන් රටේ ක්‍රිකට් ක්‍රීඩාව අනතුරේ

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 43

ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ පවතින දේශපාලන ව්‍යාකූලතාවය ආර්ථිකය මෙන්ම ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවද අවදානමට ලක්කර තිබේ. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ක‍්‍රීඩා අමාත්‍යවරයකු ක‍්‍රියාත්මක නොවීම හේතුවෙන් ක‍්‍රිකට් නිලවරණයේ කටයුතු ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වීමෙන් පසුගිය බදාදා නිලවරණය දින නියමක් නොමැතිව කල්දැමීමට ක‍්‍රීඩා අමාත්‍යංශය පියවර ගත්තේය. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන පෙබරවාරි මස 9 වැනිදා හෝ ඊට පෙර පවත්වා නිලධාරීන් පත් නොවුණහොත් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ශ්‍රී ලංකා සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට බොහෝදුරට ඉඩ තිබේ. ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අත්හිටුවහොත් ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික තරග එදින සිට අත්හිටුවීමට සිදුවේ. නිලවරණය සම්බන්ධයෙන් පසුගිය සතිය වනවිට උද්ගතවී වී තිබූ තත්ත්වය අනුව පෙබරවාරි මස 9 වැනිදාට පෙර නිලවරණය පැවැත්වීමට නොහැකිය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉදිරි නිලවරණයට නාමයෝජනා පසුගිය සිකුරාදා සහ ලබන සඳුදා බාරගැනීමට නියමිතව තිබුණි. එය එසේ වූයේ නම් දින 40ක් තුළ නිලවරණය පැවැත්වීමේ අවස්ථාව තිබුණි. එවිට ලබන පෙබරවාරි මස 7 වැනිදා නිලවරණය පැවැත්වීමට අවස්ථාව විවෘත විය. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ අමාත්‍ය මණ්ඩලයක් ක‍්‍රියාත්මක නොවීමෙන් ක‍්‍රීඩා අමාත්‍යවරයකු නොමැතිවීම නිලවරණයේ කටයුතුවලට හරහට හිටියේය.

ක‍්‍රිකට් ආයතනයේ ඡන්ද හිමි නාමලේඛණයට එරෙහිව දකුණු පළාත් ක‍්‍රිකට් සංගමය සහ කළුතර කායවර්ධන කවය නිලවරණ කමිටුවට යොමු කළ විරෝධතා සම්බන්ධයෙන් සාධාරණය ඉටු නොවුණ බව ප‍්‍රකාශ කරමින් හිටපු ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට අභියාචන ඉදිරිපත් කර තිබේ.

එම අභියාචනා සම්බන්ධයෙන් කටයුතු කිරීමට හිටපු ක‍්‍රීඩා අමාත්‍යවරයා විරෝධතා කමිටුවක් පත්කර නොමැති අතර විරෝධතා කමිටුවක් පත්කිරීමට වර්තමානයේ ක‍්‍රීඩා අමාත්‍යවරයකු නොමැති වීම ගැටලුව බවට පත්ව තිබේ. එම විරෝධතා පිළිබඳව අවධානය යොමු නොකර නිලවරණය පැවැත්වීමට උත්සාහ කළහොත් ඊට එරෙහිව අධිකරණයට යෑමට පාර්ශව කීපයක් සූදානම්ව සිටියේය.

"අපේ අභියාචනා සලකා බලන්නේ නැතුව නාමයෝජනා කැඳවන්න බෑ. අපිත් බලාගෙන හිටියේ මොකද වෙන්නෙ කියලා තමයි. එහෙම වුණා නම් අපි අධිකරණයට යන්න සූදානමින් සිටියේ" යැයි ක‍්‍රීඩා සමාජය නියෝජිතයෙක් ‘දේශය’ට පැවසීය. මෙම නිලවරණය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නඩුවක්ද විභාග වන අතර එම නඩුව ලබන ජනවාරි මස 12 වැනිදා නැවත කැඳවීමට නියමිතය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය පසුගිය මැයි මස 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණද එහිදී නිලවරණ කමිටුව පත්කිරීම පිළිබඳව ඇති වූ නීතිමය ගැටලුවක් හේතුවෙන් නිලවරණය කල්දැමීමට සිදුවිය. ඉන්පසුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කමල් පත්මසිරි මහතා නිසි බලධාරියා ලෙස හිටපු ක‍්‍රීඩා අමාත්‍ය ෆයසිර් මුස්තාෆා මහතා පත් කළේය. 

I වරකාගොඩ ගමගේ