2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

ක්‍රිකට් ඡන්දයත් ’’අල’’ වෙන ලකුණු

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 66

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන පෙබරවාරි මස 9 වැනිදාට පෙර පැවැත්වීමට හැකිවේ දැයි මේ වනවිට දැඩි අවිනිශ්චිත තත්ත්වයක් උද්ගත වී තිබේ. එසේ වුවහොත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය පිළිබඳව ගැටලුවක් මතුවීමට ඉඩ තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංග මහතා අභියාචනාධිකරණයේ ගොනුකර ඇති නඩුව නිලවරණය කල්යෑමට හේතුවක් වීමට බොහෝදුරට ඉඩ තිබේ. ශ්‍රී ලංකාව තුළ මාසයකට අධික කාලයක් පවතින දේශපාලන අර්බුදයද ඇතැම් විට මීට හේතු විය හැකිය.

ක්‍රීඩා සංගම්වල ඡන්ද අයිතිය පිළිබඳව නිලවරණ කමිටුව එළඹි තීරණ සම්බන්ධයෙන් පාර්ශව කීපයක් හිටපු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට අභියාචනා ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පෙබරවාරි 9 වැනිදා හෝ ඊට පෙර නොපැවැත්වුවහොත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ඉඩ ඇති අතර එසේ වුවහොත් ජාතික කණ්ඩායමට එතැන් සිට තරග සංචාරවලට සහභාගි වීමට නොහැකි වනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වනවිට මාස පහකට ආසන්න කාලයක් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කමල් පත්මසිරි මහතාගේ නිසි බලධාරී පාලනය යටතේ පවතී.

හිටපු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවට කරුණු දක්වමින් නිලවරණය පැවැත්වීමට පෙබරවාරි මස 9 වැනිදා දක්වා කල් ලබාගත්තේය. ක්‍රිකට් නිලවරණ කමිටුව මෙම සටහන තබන මොහොත දක්වා නිලවරණයට දින නියම කර නොතිබුණි. අභියාචනාධිකරණය නඩුව නැවත ලබන ජනවාරි මස 12 වැනිදා කැඳවීමට නියමිතය. ඒ අනුව නිලවරණය පෙබරවාරි 09 වැනිදාට පෙර පැවැත්වීමේ ඉඩකඩ අවම වේ. තිලංග සුමතිපාල නිලවරණයට නාමයෝජනා ඉදිරිපත් කළහොත් මෙම තත්ත්වය තවදුරටත් උත්සන්න වීමට ඉඩ ඇති බව වාර්තා වේ.

“සුමතිපාල මහතා නිලවරණයට ඉදිරිපත්වීමට එරෙහිවයි අපි අධිකරණයට ගිහින් තියෙන්නේ. ජනවාරි 12 වැනිදාට පෙර නාමයෝජනා කැඳවලා සුමතිපාල මහතා නාමයෝජනා ඉදිරිපත් කළහොත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට මෝසමක් මගින් නඩුව ඉදිරියට ගන්න වෙයි” යැයි අභියාචනාධිකරණ නඩුවේ පාර්ශවකරුවෙක් ‘දේශය’ට පැවසීය. පරිපාලනයට ඒමට පාර්ශ්ව කීපයක් දරන උත්සාහය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අවදානමට පත්වීම වැළැක්විය නොහැකි තත්ත්වයකට පත්ව තිබේ.  

 වරකාගොඩ ගමගේ