2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

හිටපු සභාපතිවරයකුට තහනමක්?

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 79

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට තරග කිරීමට සූදානමින් සිටි එහි හිටපු නමගිය සභාපතිවරයකුට නැවත නිලවරණයට ඉදිරිපත්විය නොහැකි බවට අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ ක්‍රීඩා අමාත්‍යංශයට දැනුම් දී ඇති බව දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා ක්‍රීඩා නීතියට අනුව එම හිටපු සභාපතිවරයාට ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට තරග කළ නොහැකි බවට අඛණ්ඩව චෝදනා එල්ල වුවද ඔහු ක්‍රිකට් පරිපාලනයේ නිරතව සිටියේය.

එම නිලධාරියා තම පවුලේ සාමාජිකයන් කීපදෙනකුගෙන් තම අයිතිවාසියකම් ඉල්ලා අධිකරණයේ පනවා ඇතැයි කියන නඩු කිහිපයක වාර්තා අන්තර්ජාතික ක්‍රිකට් සභාව සතුව පැවතීම මෙම දැනුම් දීමට හේතුවී ඇති බව ක්‍රිකට් ක්ෂේත්‍රයේ කථාබහට ලක්ව තිබේ. අදාළ නමගිය සභාපතිවරයා නිලවරණයට ඉදිරිපත් නොවුණහොත් ඔහුගේ කමිටුවේ උප සභාපති ධූරයේ කටයුතු කළ නිලධාරීන් දෙදෙනා පාර්ශව දෙකෙන් සභාපති ධූරයට තරග කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

නමගිය හිටපු සභාපතිවරයා සමඟ සන්ධානගතව මීට පෙර නිලවරණයේදී කටයුතු කළ පාර්ශවයන් වෙනත් පාර්ශවයක් සමඟ සන්ධානගතව මෙවර නිලවරණයේ තරග කිරීමට සූදානම් වන බව වාර්තා වේ. එහිදී කොළඹ ප්‍රධාන ක්‍රිකට් සමාජය හිටපු සභාපතිවරයකු වන නමගිය ක්‍රිකට් පරිපාලයකු සභාපති ධූරයට තරග කළහොත් හිටපු සභාපතිවරයාගේ පාර්ශවයට අභියෝගයක් වනු ඇතැයි ක්‍රිකට් ක්ෂේත්‍රයේ කථාබහට ලක්ව තිබේ.

මෙම නිලධාරියා මීට පෙර නිලවරණයේදී හිටපු සභාපතිවරයාගේ ජයග්‍රහණය සඳහා උතුරු සහ නැගෙනහිර පළාත්වල ඡන්ද ලබාගැනීමට සමත් වූ බවද එවකට කියවුණි. හිටපු සභාපතිවරයා යටතේ ඉහත නිලධාරියා පාරිපාලනය විසුරුවා හරින තෙක් උප සභාපතිවරයකු ලෙස කටයුතු කළද එම කමිටුවේ සෙසු බොහෝ දෙනකුගේ කටයුතු පිළිබඳව ඔහු අසතුටින් පසුවූ බව වාර්තා වේ.

හිටපු සභාපතිවරයාගේ පරිපාලනය සම්බන්ධයෙන් විරෝධය පළකරමින් උප සභාපති ධූරයෙන් ඉවත්වූ නිලධාරියකු ද මෙවර නිලවරණයට සක්‍රීයව සම්බන්ධ වී සිටින අතර ඔහු පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩාකර නොමැතිවීම හේතුවෙන් ක්‍රීඩා නීතියට අනුව නිලවරණයට ඉදිරිපත්විය නොහැක. තහනමකට ලක්ව සිටින්නේ යැයි කියන හිටපු සභාපතිවරයකුගේ පාර්ශ්වයෙන් කොළඹ ප්‍රධානතම ක්‍රිකට් සමාජයක් නියෝජනය කරන නමගිය ක්‍රිකට් පරිපාලකයකු සභාපති ධූරයට ඉදිරිපත්වීමට නියමිතය.

මෙම වසරේ මැයි මස පැවැත්වීමට සූදානම් වූ ක්‍රිකට් නිලවරණයේදී හිටපු සභාපතිවරයාගේ පාර්ශවයෙන් නිලයන් කීපයක් සඳහා එම නමගිය ක්‍රිකට් නිලධාරියා නාමයෝජනා ඉදිරිපත්කර තිබුණි. මෙම තත්ත්වය අනුව මෙවර ක්‍රිකට් නිලවරණයේදී සභාපති ධූරය සඳහා තියුණු සටනක් නිර්මාණය වනු ඇතැයි විශ්වාස කළ හැකිය.  

I විශේෂ ලියුම්කරුවකු විසිනි

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00