2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

ක්‍රිකට් නිලවරණය උණුසුම් වන ලකුණු

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 91

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන දෙසැම්බර් මස මුල සතියේ ආරම්භ වීමට නියමිත බව ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. නාමයෝජනා කැඳවීම් ආරම්භ වීමත් සමඟ ක‍්‍රිකට් නිලවරණය පුවත් මැෂිමක් බවට පත්වීමට ඉඩ ඇති බවට මේ වනවිටත් ඉඟි පළවී තිබේ. නිලවරණයට අදාළව කොළඹ ක‍්‍රීඩා සමාජවල සහ හෝටල්වල හරස් සාකච්ඡා ආරම්භ වී ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවර නිලවරණයට හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට ඉදිරිපත්වීම වැළැක්වීම සඳහා හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංග මහතා අභියාචනාධිකරණයේ නඩුවක් ගොනුකර ඇති අතර එම නඩුව මේ මස 29 වැනිදා නැවත කැඳවීමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන ජයන්ත ධර්මදාස මහතාද මීට පෙර පවසා තිබුණේ තිලංක සුමතිපාල මහතාට නිලවරණයට ඉදිරිපත්වීමට නීතිමය හිමිකමක් නොමැති බවයි. ඒ අනුව මෙවර ක‍්‍රිකට් නිලවරණ සටනේ ධර්මදාස පාර්ශවයද ක‍්‍රියාකාරීව සිටිනු ඇත. මෙම කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමේදී මෙවර නිලවරණයද මීට පෙර නිලවරණවලට දෙවැනි නොවනු ඇත. 

ක‍්‍රිකට් නිලවරණය ක‍්‍රියාත්මක කිරීම සඳහා විශේෂ මහා සභාවේදී පත්කළ නිලවරණ කමිටුව මේ වනවිට ඒ සඳහා අවශ්‍ය කටයුතු කරමිනි සිටියි. ක‍්‍රිකට් නිලවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින පළාත්, දිස්ත‍්‍රික්, අනුබද්ධ සංගම් සහ ක‍්‍රීඩා සමාජය ලැයිස්තුව සකස්කර එයට විරෝධතා දැක්වීමට පසුගිය බදාදා දක්වා කාලය ලබාදී තිබුණි. 

එම කාලය තුළ ඡන්ද හිමි නාමලේඛණය සම්බන්ධව විරෝධතා හතරක් ඉදිරිපත්ව තිබුණි. කළුතර කායවර්ධන කවය සහ දකුණු පළාත් ක‍්‍රිකට් සංගමය සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබූ විරෝධතා අධිකරණයට ද සම්බන්ධව තිබුණි. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සේවය කරමින් ක‍්‍රීඩා සමාජවල තනතුරු දරමින් ඡන්දය ප‍්‍රකාශ කිරීමටද සුදුසුකම් ලබා සිටින ඇතමුන් පිළිබඳව දකුණු පළාත් ක‍්‍රිකට් සංගමයේ ලේකම්වරයා විරෝධතාවක් ඉදිරිපත් කර තිබුණි. ආදි ධර්මපාල ක‍්‍රීඩා සමාජයේ ආරම්භක සාමාජිකයකු මෙන්ම එහි වර්තමාන අනුශාසකවරයකු ද වන ටී.කේ. පාලිත මහතාද එම ක‍්‍රීඩා සමාජයේ වර්තමාන පරිපාලනයට එරෙහිව විරෝධතාවක් ඉදිරිපත් කර තිබුණි. 

ඒ අනුව ලබන සඳුදා අවසන් ඡන්ද නාමලේඛණය සකස් කර ක‍්‍රීඩා සමාජ වෙත ලබාදීමට නියමිතව තිබුණි. ඉන් අනතුරුව නාමයෝජනා කැඳවීමට දින වෙන්කිරීමට සැළසුම් කර තිබුණි. ක‍්‍රීඩා සමාජවල ඡන්දය ප‍්‍රකාශ කිරීමට ඉදිරිපත් වන පුද්ගලයන් පිළිබදව විරෝධතා එල්ල වීම සාමාන්‍ය තත්ත්වයකි. මීට පෙර නිලවරණවලදී එවැනි විරෝධතා අධිකරණයට යෑමෙන් නිලවරණ කල්දැමූ අවස්ථාද ඉතිහාසයෙන් සොයාගත හැකිය. ඇතැම් දිස්ත‍්‍රික් සහ ක‍්‍රීඩා සමාජවල නිලධාරීන් පත්වීම පිළිබඳව ප‍්‍රශ්න ඇති අතර ඒ හේතුවෙන් ඡන්දය ප‍්‍රකාශ කරන නියෝජිතයා නම් කිරීමද ප‍්‍රශ්නකාරී විය හැකිය. 

මීට පෙර නිලවරණවලදී එකම ක‍්‍රීඩා සමාජයේ සභපාතිවරයා සහ ලේකම්වරයා පාර්ශව දෙකකට ඡන්දය ප‍්‍රකාශ කළ අවස්ථාද දැකිය හැකිවිය. නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ සඳහා විරෝධතා ඉදිරිපත්කිරීමේ කාලයක් හිමිවේ. මීට පෙර නිලවරණවලදී එම කාලයේදී ගුටිබැට හුවමාරැද වාර්තා විය.   

I වරකාගොඩ ගමගේ

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00