2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

තීරණ දෙක තුනකට මේ පරාජය ලඝු කරන්න පුළුවන්ද?

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 114

"මෙම තරග දෙකේදී අපිට ජයගන්න අවස්ථාව තිබුණා. ඒත් එංගලන්තය අපට වඩා හොඳ ක‍්‍රීඩා කළා. අපි ඒක පිළිගන්න ඕනා. ඒත් අපි වැරදිච්ච දේවලින් පාඩමක් ඉගෙන ගන්නත් ඕනා. අපි මේ වෙලාවේ බලන්න ඕනා ළඟ නෙමේ දුරයි යැයි" ශ්‍රී ලංකා පිලේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පල්ලෙකැලේ ටෙස්ට් තරගයේ පරාජයෙන් පසුව පැවසීය.

වෘත්තිය මෙන්ම ඒ සඳහා සුපිරි වැටුපක් ලබන පුහුණුකරුවකුට මෙවැනි ප‍්‍රකාශයක් කර ඇඟ බේරාගැනීමට අයිතියක් තිබේද යන ප‍්‍රශ්නය මෙහිදී මතුවේ. ඔහුට එසේ ඇඟ බේරාගැනීමට ඉඩ හැරීමෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව තවදුරටත් වළපල්ලට වැටේ. එංගලන්තය පිල හොඳින් ක‍්‍රීඩා කිරීම නිසා ජය ලැබුවේ යන්න කිසිවකු අමුතුවෙන් කිවයුතු නැත. ටෙස්ට් තරග දෙකේ ප‍්‍රතිඵල දෙස බැලීමේදී එය පැහැදිලි වේ. එංගලන්තය ඒත් සමඟම වසර 17 කට පසුව ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයග‍්‍රහණයක් සටහන් කළේය. 

හතුරුසිංහ මහතා මෙම පරාජයන් දෙකත් සමඟ බලන දුර කුමක්ද යන්න මාධ්‍ය හමුව පුරාවටම පැහැදැලි කිරීමට අපොහොසත් වීම කැපී පෙනුණි. "මේක තීරණ දෙක තුනක ප‍්‍රශ්නයක්. ඒත් අපට හැකියාවෙන් කිසිම අඩුවක් නෑ. මම විශ්වාසය තියන්නේ ඒ ගැනයි. මේ කණ්ඩායම සම්බන්ධයෙන් මට බලාපොරොත්තුවක් තියෙනවා" යැයි හතුරුසිංහ මහතා වැඩිදුරටත් පැවසීය. 

තේරීම් කමිටු සභාපති ග‍්‍රැහැම් ලැබ්රෝයි සහ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ ‘බිලිබෝයි’ බවට පත්ව ආසියානු කුසලානයෙන් පසුව එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල නායකත්වයෙන් මෙන්ම සංචිතයෙන්ද ඉවත් කළ ඇන්ජලෝ මැතිව්ස් නොවෙන්නට ශ්‍රී ලංකා පරාජය මීට වඩා දරුණු වීමට ඉඩ තිබුණි. මැතිව්ස් මෙම ටෙස්ට් තරග දෙකේදී අර්ධ ශතක තුනක් සමගින් ලකුණු 213 (52,53,20,88) රැස්කිරීමට සමත් විය. මැතිව්ස් අසාර්ථක වූයේ නම් කපා දැමීමට ඇතැමුන් දත කට මැද බලා සිටි බවද දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ වාසනාවට මැතිව්ස් සාර්ථක විය.  
කුසල් මෙන්ඩිස් අඛණ්ඩව අසාර්ථකව සිටියදී ඔහුට අවස්ථාව ලබාදීමේ ප‍්‍රයෝජනය කුමක්ද යන්න මෙහිදී ප‍්‍රශ්න කළ යුතුය. කුසල් පැවැති ටෙස්ට් තරග දෙකේ ඉනිම හතරේදී ලකුණු 66 ක් (19,45,1,1) පමණක් රැස්කර තිබේ. මෙම තත්ත්වය හමුවේ එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී පසුගිය සිකුරාදා ආරම්භ වීමට නියමිතව තිබූ ටෙස්ට් තරගයට කුසල් මෙන්ඩිස් ක‍්‍රීඩා කළහොත් එය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට කරන පාඩුවකි. කුසල් සියලුම අන්තර්ජාතික තරගවලදී එළියේ තබා දේශිය තරගාවලියේදී නැවත ලකුණු අතරට පැමිණ විශ්වාසය ගොඩනඟා ගැනීමේ අවස්ථාව ලබාදිය යුතුය. එසේ නොවුණහොත් කුසල් මෙන්ඩිස්ද ළහිරු තිරිමාන්න කෙනෙකු වීම වැළැක්විය නොහැක. යොවුන් පිතිකරු චරිත් අසලංකට එම අවස්ථාව ලබාදෙන්නේ නම් එය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතයට ආයෝජනයකි.

ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා පැවැති ටෙස්ට් තරග දෙකේදී ලකුණු 41 ක් (1,30,6,4) පමණක් රැස්කරමින් අසාර්ථක වී තිබේ. එය එසේ වුවද එම ස්ථානයට ආදේශ කිරීමට වෙනත් පිතිකරුවකු සිටින්නේද යන්න සොයා බැලිය යුතුය. මෙම ටෙස්ට් තරග දෙකේදීම එංගලන්ත පිලේ පන්දු රැකීමේ ශ්‍රී ලංකා පිල සමඟ සැසඳීමේදී වඩාත් ඉහළ තැනක තිබුණි. මාලින්ද පුෂ්පකුමාර අතට ලැබෙන උඩපන්දුව බිමට දමන විට එංගලන්ත පන්දු රකින්නෝ හඹාගොස් රැකගනිමින් ශ්‍රී ලංකා පිල අමාරුවේ දැමූහ. 

"ක්‍රීඩකයන් තේරීමේදී බොහෝ වෙලාවට අපි අංක 1 ට යොදන්නේ පන්දුවට පහරදීම නැත්නම් පන්දු යැවීමේ හැකියාව. ඒත් පන්දු රැකීම අංක 1 ට ගේන්න අපි දැන්වත් වගබලාගන්න  ඕනේ" යැයි හතුරුසිංහ පැවසුවේ මේ නිසා විය හැකිය. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිතිකරුවන් දුර්වල වීමේදී එංගලන්ත පිලේ පන්දු රැකීමද ප‍්‍රබල සාධකයක් බවට පත්විය. එහිදී බෙන් ස්ටෝක්ස් සහ කීටන් ජෙනිංග්ස් පෙරමුණේ සිටියහ. ශ්‍රී ලංකා පළමු ඉනිමේ ලකුණු 127 කට කඩුලු දෙකක් පමණක් බිඳ වැටී සිටියදී බෙන් ස්ටෝක්ස් දක්‍ෂ පන්දු රැකීමකින් දිමුත් කරුණාරත්න දුවද්දී දවාගැනීමත් ඉන් නොනැවති කුසල් මෙන්ඩිස් ස්ලිප් ස්ථානයට දුන් උඩපන්දු අවස්ථාව වම් අතින් රැකගැනීමත් ඉනිමේ කඩා වැටීමට ප‍්‍රබල සාධකයක් බවට පත්විය. 

මෙහිදී තවත් කැපී පෙනෙන තත්ත්වයක් බවට පත්වූයේ ශ්‍රී ලංකාව දඟ පන්දුවෙන් එංගලන්තය මර්දනය කිරීමට දඟ කැවෙන තණතීරු ලබාදුන්නද එම වාසියද එංගලන්ත දඟපන්දු යවන්නෝ ආරෝපණය කර ගැනීමය. මෙම තරග දෙකේදී එංගලන්ත දඟ පන්දු යවන්නන් වන ජැක් ලීච්, අදිල් රෂීඩ් සහ මුයින් අලී කඩුලු 40 න් 35 ක් දවාගැනීමට සමත් වූහ.

අකිල ධනංජය පන්දු යැවීමේ ඉරියවේ පරීක්‍ෂණය සඳහා ඕස්ට්‍රේලියාවට පිටත්ව යෑම හේතුවෙන් එස්.එස්.සී. ටෙස්ට් තරගය ඔහුට අහිමිවෙයි. මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව එස්.එස්.සී. තණතීරුවේදී කුමන සැලසුමක් ක‍්‍රියාත්මක කරයිද යන්න අපැහැදිලිය. 

සටහන: යොහාන් භාසුර