2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

පාපන්දු සභපති පුටුවට තුන්දෙනකුගෙන් සටනක්

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

යාළුවොත් තරහවෙලා: සමහරු නඩු කියන්න සූදානමින්

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය හැරුණාම වැඩිම මුදල් ප‍්‍රමාණයක් සංසරණය වන ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩා සංගමය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය බව නොරහසකි. ඒ හේතුවෙන්ම එහි පරිපාලනයට ඒමට කාලයක සිට ඇතැමුන් පොරකන්නේ ක‍්‍රීඩාවට ඇති ආදරය නිසාම නොවන බව කිවයුතුය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පසුගිය වසර ගණනාවක සිදුවූයේයැයි කියන දුෂණ සම්බන්ධයෙන් පසුගිය බ‍්‍රහස්පතින්දා ‘කෝප් කමිටුව’ පාර්ලිමේන්තුව දැනුම්වත් කිරීමට ද නියමිතව තිබුණි. 

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මීළඟ නිලවරණය ලබන මැයි මස පැවැත්වීමට නියමිතව තිබුණ ද සභාපති ධූරය සඳහා වන යුද්ධය මේ වන විට ආරම්භ වී මාස කීපයක්ද ගතවී තිබේ. සභාපති ධූරයේ උණුසුම කොතරම්ද කිවහොත් වර්තමාන නිලධාරීහූ තුන්කොන් සටනකට අවතීරණ වී සිටිති. 

පාපන්දු සම්මේලනයේ හිටපු ප‍්‍රබල නිලධාරියකුද රංජිත් රුද්‍රිගු මහතාට එරෙහිව නිලවරණයේදී කටයුතු කිරීමට මේ වන විටත් සැදී පැහැදී සිටින බව දැනගන්නට තිබේ. 

වර්තමාන පරිපාලනයේ මිතුරන් හතුරන් බවට පත්ව සිටින අතර ජාතිවාදය සහ ආගම්වාදය ද ඡන්දය ලබාගැනීමට ඉදිරියට තබා ඇති බවද පාපන්දු ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්ව තිබේ. 

වර්තමාන සභාපති අනුර ද සිල්වා, හිටපු සභාපතිවරයකු මෙන්ම වර්තමාන මූල්‍ය කමිටු සභාපති රංජිත් රුද්‍රිගු සහ වර්තමාන ලේකම් බාලේන්ද්‍ර ඇන්තනී යන මහත්වරු සභාපති ධූරයට තරග කිරීමට සූදානමින් සිටිති. 

වර්තමාන සභාපති අනුර ද සිල්වා සහ හිටපු සභාපති රංජිත් රුද්‍රිගු මීට මාස කීපයකට පෙර හොඳ මිතුරන් ලෙස සභාපති ධූරයට සහ ලේකම් ධූරයට තරග කිරීමට එකඟතාවෙන් පසු වුවද රංජිත් රුද්‍රිගු යොමු කළේ යැයි කියන එස්.එම්.එස්. පණිවුඩයක් මෙම විරසකයට මුල් වූ බව දැනගන්නට තිබේ. 

අනුරද සිල්වා අන්තර්ජාතික පාපන්දු සංගමයේ අනු කමිටුවකින් ඉවත් කළ බවට එම එස්.එම්.එස්. පණිවුඩයේ සඳහන්ව තිබූ බවත් එය පසුව අනුර ද සිල්වා ප‍්‍රතික්‍ෂේප කළ බවත් දැනගන්නට තිබේ. 

ලේකම් බාලේන්ද්‍ර ඇන්තනී ද රංජිත් රුද්‍රිගුගේ ඉතාමත් කිට්ටුවන්තයකු වුවද තමන් සභාපති ධූරයට තරග කරන බවට පළමුවෙන්ම ඔහු පවසා තිබුණි.

අඹ යාළුවන් දෙපළගේ විරසකයත් සමඟ පාපන්දු සම්මේලනයට අනුබද්ධ පාපන්දු ලීග් 70 කොටස් තුනකට බෙදී තිබේ. ඇතැමුන් ජාතිය මුල්කරගෙන ලීග රැසක සම්පූර්ණ බලය අත්පත්කරගෙන ඇති බවද පාපන්දු ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්ව තිබේ. 

මෙම තුන්කොන් සටන පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද දැනුවත්ව සිටින අතර ඒ මහතා මීට සති කීපයකට පෙර පාර්ශව තුන කැඳවා උපදෙස් දුන් බවද දැනගන්නට තිබේ. 

එහිදී ක‍්‍රීඩා අමාත්‍යවරයා පවසා ඇත්තේ ස්වාධීන කමිටුවක් පත්කර නිලවරණය පවත්වන ලෙසය. 

මෙහිදී රංජිත් රුද්‍රිගු මහතා තමන්ට සුදුසුකම් නැති බවට අසත්‍ය ප‍්‍රචාරයන් ගෙන යන බවට ක‍්‍රීඩා අමාත්‍යවරයා හමුවේ පවසා ඇති අතර එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් තමන් අධිකරණයට යන බව ඔහු පැවසූ බව දැනගන්නට තිබේ. 

නිලවරණය සම්බන්ධයෙන් එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් කෙටි කාලයකට හෝ අතුරු කමිටුවක් පත්කිරීමට සිදුවීමට ඉඩ ඇති අතර අන්තර්ජාතික පාපන්දු සංගමය අතුරු කමිටු පිළිනොගන්නා වාතාවරණයක් තුළ එය කොතරම් සාර්ථක වේද යන්න සැක සහිතය. 

මෙවර නිලවරණයද වෙනස් ආකාරයකට පැවැත්වීමට සූදානම් වේ. එහිදී සභාපතිවරයා සහ උප සභාපතිවරු පමණක් නිලවරණයෙන් තෝරාගැනීමට නියමිත අතර භාණ්ඩාගාරික, උප භාණ්ඩාගාරික, ලේකම් සහ උප ලේකම්වරු සභාපතිවරයාගේ අභිමතය පරිදි පත්කිරීමට නියමිතය.

මෙම නව ව්‍යවස්ථා වෙනස පිළිබඳවද ගැටලුකාරී බවක් සාමාජික පාපන්දු ලීග තුළ ඉස්මතු වී තිබේ.

මෙවර පාපන්දු නිලවරණය පිටුපස කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පාපන්දු ලීගයක උසස් තනතුරක් දරන්නේ යැයි කියන ක‍්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරියකු සිටින බව වාර්තා වේ. එම නිලධාරියාට සහ සභාපති ධූරයට තරග කිරීමට නියමිත නිලධාරියකු අතර සමීප ඥාති සම්බන්ධතාවක් පවතින බව ද දැනගන්නට තිබේ. 

අනුර ද සිල්වා මහතා ක‍්‍රීඩකයකු ලෙස සුදුසුකම් සපුරා තිබුණ ද ජාතික මට්ටමේ ලීගයක තනතුරක් නොදැරීම ද මෙහිදී ගැටලුකාරී බව ක්ෂේත‍්‍රයේ කථා බහට ලක්ව තිබේ. අනුර ද සිල්වා මහතා නිලවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සම්පත් භාවිත කරන බවට ද චෝදනා එල්ල වෙමින් තිබේ. 

රංජිත් රුද්‍රිගු මහතා මීට මාස කීපයකට පෙර පහසුවෙන් සභාපති ධූරයට ඒමට සිහින දකිමින් සිටිය ද මේ වන විට තත්ත්වය සංකීර්ණ අතට හැරී තිබේ. පාපන්දු නිලවරණය ද ක‍්‍රිකට් නිලවරණයට නොදෙවැනි සටනක් බවට පත්වනවාට සැක නැත. 
 

| සටහන: යොහාන් භාසුර 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00