2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

නිකම්මු සුපිරි වැටුප් ලබද්දී හොඳ නිලධාරියකුගේ බෙල්ල කැපෙයි

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 97

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මුදල් මිලියන ගණනින් ගිල දමන අතිරික්ත ‘සුපිරි’ සේවකයන් ඉවත් කිරීමට මෙම වසර අගදී මහඟු අවස්ථාවක් උදාවේ. ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා එම මහඟු අවස්ථාවෙන් උපරිම ඵලය නෙළාගත යුතුය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ කොන්ත‍්‍රාත් පදනම මත සුපිරි වැටුප් ලබමින් දවස පුරා නිදි සුවය ලබන 20 කට අධික පිරිසකගේ සේවා කාලය ලබන දෙසැම්බර් මස අවසන් වේ. 

එහිදී සියලුම සේවකයන් ඉවත් කළ යුතු යැයි අපි නොසිතමු. එසේ වුවද ඉන් බහුතරයකගේ සේවය අවසන් කළ යුතුව තිබේ. මෙම පිරිසෙන් 15කට ආසන්න සංඛ්‍යාවක් රුපියල් ලක්‍ෂයකට අධික වැටුප් ලබන අතර ඇතැමුන්ගේ වැටුප රුපියල් මිලියනයකට ආසන්න බව තතු දන්නෝ පවසති. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මහලු මඩමක් කරමින් හිටපු පාලකයන් හිතවත්කම මත ලබාදුන් මෙම තනතුරු අහෝසි කිරීමේ වගකීම ක‍්‍රීඩා අමාත්‍යවරයා සතුය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තුළ කිසිදු සේවයක් නොකර වැටුප් ලබන පුද්ගලයන් රැසක් සිටින බව වාර්තා වේ. නිකමන් ලෙස වැටුප් ලබන පුද්ගලයන් අතරට පුහුණුකරුවන් රුසක් ඇතුළත්ව සිටින බවද වාර්තා වේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තුළ එකම තනතුරට පුද්ගලයන් දෙදෙනා බැගින් සිටින බව ප‍්‍රසිද්ධ රහසකි. එහිදී ඇතැම් පුද්ගලයන්ට තනතුරු නිර්මාණය කර සුපිරි වැටුප් පිරිනමයි.

“‘ක‍්‍රිකට් දූෂණ මර්දන ලොක්කාගේ සේවය හිටිහැටියේ අත්හිටුවයි” යැයි පසුගිය සතියේ මාධ්‍ය වාර්තා පළවිය. මෙයින් කියවුණේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ දූෂණ මර්දන අංශ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයේෂ් වීරක්කොඩි මහතාගේ සේවය පසුගිය සඳුදා හිටිහැටියේ අත්හිටුවීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කටයුතු කළ බවයි. ගාල්ලේ සිටි වීරක්කොඩි මහතා ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර දින වහාම ක‍්‍රියාත්මක වන පරිදි කොළඹට කැඳවීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක යැයි කියන තනතුරක් දරණ පුද්ගලයකු කටයුතු කර තිබුණි.

වීරක්කොඩි මහතා තරග පැවැත්වෙන අවස්ථාවලදී ක‍්‍රීඩාංගණය තුළ බොහෝ ස්ථානවලට ගොස් පරීක්‍ෂාවෙන් සිටින නිලධාරියකු බව අප දැක තිබේ. කෙසේ වෙතත් ගාල්ල ටෙස්ට් තරගයට ඒ මහතාගේ සේවය නොලැබුණි. ගාල්ල ටෙස්ට් තරග අවස්ථාවේදී ක‍්‍රීඩාංගණය තුළ ඔට්ටු තබන්නන් යැයි සැක කළ හැකි පුද්ගලයන් රුසක් බාධාවකින් තොරව තරගය නරඹමින් සිටි බව සමාජ මාධ්‍යවල පළවී තිබුණි. වීරක්කොඩි මහතාගේ සේවය අත්හිටුවූ බවට ලබාදුන් ලිපියේ එයට හේතුවක් දක්වා නොමැති බව වාර්තා වේ. ඒ මහතාගේ වසරක සේවා කොන්ත‍්‍රාත්තුව ලබන දෙසැම්බර් මස 31 වැනිදා අවසන් වීමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරියකු පැවසුවේ සේවය අවසන් වීමට මාස තුනක කාලයක් තුළ සේවය අත්හිටුවීමේ ප‍්‍රතිපාදන ඇති බවයි. එය එසේ වුවද ඔහුට දෙසැම්බර් මස දක්වා වැටුප් ගෙවිය යුතුය. වීරක්කොඩි මහතා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කළ නිලධාරියකු ලෙස ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රසිද්ධියක් උසුලා සිටි අතර ක‍්‍රිකට් ආයතනයට දැවැන්ත බිල් දැමූ පුද්ගලයෝ මේ දක්වා සේවයේ යෙදී සිටිති.

I වරකාගොඩ ගමගේ